Latest News

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගැන වාර්තා චිත්‍රපටයක් කළ අනෝමා රාජකරුණාට සම්මානයක්

හිටපු අග්‍රාමාත්‍යවරියක වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතාපදානය පාදක කරගෙන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අනෝමා රාජකරුණා මහත්මියට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් හිමිව තිබෙනවා.

Our Mother, Grand Mother, Prime Minister Sirimavo නමැති මෙම වාර්තා චිත්‍රපටය සඳහා සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වය ම උපයෝගී කරගෙන තිබුණා.

1916 වසරේදී උපන් මැතිනියගේ පසුගිය 2016 වන වසරේ යෙදුණු සියවැනි උපන් දින සැමරුම සඳහා මෙම සිනමාපටය නිපදවා තිබෙනවා.

2016 වසරේ සිට වසර 5ක කාලයක් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා අනෝමා රාජකරුණා මහත්මිය වැයකර තිබූ බව වාර්තා වනවා.

ඒ සඳහා සිරිමාවෝ මැතිනිය සමීපව ඇසුරු කළ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වන නිහාල් ජයවික්‍රම සහ ගුණසිරි පීරිස් යන මහත්වරුන් සහ චන්ද්‍රිකා, සුනේත්‍රා යන දියණියන් ද, විමුක්ති සහ යශෝදරා යන මුනුබුරු මිනිබිරියන්ගේ ද සම්මුඛ සාකච්ඡා ලබා ගෙන තිබෙනවා.

අනෝමා මහත්මිය ඊයේ ( 23) සවස බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

එහිදී එතුමිය පිළිගැනීම සඳහා චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටියා.