Latest News

මිටිය විසි කිරීමේ ජාතික ශූරිය වන අයේෂා ඕස්ට්‍රේලියාවේදී මාළුවෙකු විසිකර ජයගනියි

ඕස්ට්‍රේලියාවේ port hedland නගරයේ වාර්ෂිකව පැවැත්වෙන ටුනා රෝමා තරඟයේ හි ප්‍රධානතම අංගයක් වන ටුනා ටොස් තරඟයේ කාන්තා අංශයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා අයේෂා මධුවන්ති සමත්ව තිබෙනවා.

මෙම තරඟය ටුනා ටොස් වල්ඩ් චැම්පියන්ෂිප් ලෙස හඳුන්වන අතර එය ටුනා මාළුවෙකු වැඩිදුර විසිකිරීමෙන් ජයග්‍රාහකයින් තෝරා ගනු ලබනවා.

1979 දී ආරම්භ වුන මෙම තරඟයට ලෝකයේ ඕනෑම රටක ක්‍රීඩකයෙකුට සහභාගිවීමට පුළුවන්.

මුල් කාලයේදී මේ සඳහා ඇත්තම ටුනා මාළුවෙකු යොදාගත්ත ද 2008 වසරෙන් පසු ඒ සඳහා 10kg බර කෘතීම ටුනා මාළුවෙකු යොදා ගනු ලබනවා.

මේ වසරේ ටුනා ටොස් තරඟයේ මුලික වට ජනවාරි මාසයේ 26 වනදා ආරම්භ කර අතර එහි අවසන් තරඟය ඉකුත් 28 වනදා පවත්වා තිබෙනවා.

මෙහිදී මෙරට හිටපු මිටිය විසි කිරීමේ ජාතික ශූරිය වගේම එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරියද වන අයේෂා මධුවන්ති ද තරඟයට සහභාගී වුණා.

කාන්තා අංශයේ මුලික තරඟවලින් දෙවන ස්ථානය දිනාගත් ඇය අවසන් තරඟයේ දී තෙවන ස්ථානය දිනා ගත්තා.

අයේෂා මධුවන්ති විසින් මෙම ජයග්‍රහණය ලබා ඇත්තේ ඉතා කෙටි කාලයක පුහුණුවකින් බවයි වාර්තා වන්නේ.