Latest News

මව පියා හා පුතු දුම්රියට පැන්නාද ? – සැකයක්

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (08) උදෑසන 11.55ට පමණ රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට කෙටි දුරකින් පිහිටි 103 1/2 කිලෝමීටර් කණුව ආසන්නයේ එම අනතුර සිදුව ඇත.

අනතුරින් මව, පියා සහ පුතා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෘත දේහයන් නාවලපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව තහවුරු කරගෙන තිබෙනවා.

දුම්රිය ස්ථානයේ සේවකයෙකු සඳහන් කළේ,උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට ප්‍රථම එම පුද්ගලයින් දුම්රිය ධාවනය වන වේලාව අසා වටවල දුම්රිය දෙසට ගමන් කළ බවයි.

ඔවුන් තිදෙනා දුම්රියට පැන සියදිවි හානි කර ගත්තේ ද, නැත්නම් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වුවාද යන්න පිළිබඳ වටවල පොලීසියේ නිලධාරින් පරීක්ෂණ පවත්වනු ලැබෙයි.