Latest News

විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර

විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් මේ වන විට ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව අද දිනෙන් පසු ඕනෑම දිනක විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා උපකුලපතිවරුන්ට අවසර ලබාදී තිබෙනවා.

අද (26) උදැසන මාධ්‍ය හමුවකට එක වෙමින් එහි සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා,

“මීට සති දෙකකට පෙර තමයි අපි එන්නත්කරණ වැඩපිළිවෙල අවසන් කළේ. ඒ නිසා මේ වන විට විශ්වවිද්‍යාලවල කණ්ඩායම් ආරම්භ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ලබන සතියේ සිට හෝ උපකුලපතිවරුන්ට පීඨාධිපතිවරුන් සමඟ සාකච්ඡා කරලා, සනාථන සභාවල සාකච්ඡාවෙන් පස්සේ කුමන කණ්ඩායම ද ගේන්නේ කියලා ආරම්භ කරාට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. හැකි ඉක්මනින් දරුවෝ කැඳවා අධ්‍යාපනය ලබාදෙන්න කියන එක තමයි සියලු උපකුලපතිවරුන්ගෙන් අපි ඉල්ලීමක් කළේ කොන්දේසි සහිතව. නේවාසිකාගාර වෙත පැමිණිමට, අනිවාර්යෙන් ම එන්නත් දෙකම ලබාගෙන, දෙවැනි එන්නත ලබාගෙන සති දෙකක් ගතවිය යුතුයි. ඒක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අපට දුන්න උපදේශය.”