Latest News

ජීවිත කිහිපයකටම ප්‍රාණය දී දිවි ගමනට සමුදුන් විහඟනා

මොළය මියගිය පුද්ගලයෙකුගෙන් ලබාගත් අවයව කොටස් දෙකක් අසාධ්‍ය තත්ත්වයේ පසුවු රෝගියෙකුට බද්ධ කර නැවත ජීවිතය ලබාදුන් එම සුවිශේෂී සැත්කම පසුගිය දා කොළඹ ජාතික රෝහලේ දී සිදු කෙරුණා.

මෙහි විශේෂත්වය වන්නේ, එක් පුද්ගලයෙකුගෙන් ලබාගත් හදවතක් සහ පෙනහළු දෙකක් එකම රෝගියෙකුට එකවර බද්ධ කිරීමයි.

මෙලෙස බද්ධ කෙරුනේ, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටිය දී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොළය මියයෑම හේතුවෙන් මරණයට පත්වූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ දැරියගේ හදවත සහ පෙනහළු යි.

ඇයගෙන් ලබාගත් හදවත සහ පෙනහළු එලෙසම බද්ධ කරනු ලැබුවේ හෘදය හා පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීම තවත් විශේෂත්වයක් වනවා.

විහඟනාගේ සිරුරෙන් අවයව ලබාගන්නා අවස්ථාවේ දී පැය භාගයක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ විදුලිය විසන්ධි වී තිබුණ ද එය බාධාවක් කර නොගත් වෛද්‍යවරු ඉතා සාර්ථකව එම කාර්ය සිදුකර තිබුණා.

මීට අමතරව ඇයගෙන් ලබාගත් වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කර තිබෙනවා.

ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට සාර්ථකව බද්ධ කර ඇති බව වාර්තා වනවා.

මේ අතර දැරියගෙන් ලබාගත් අක්මාව සහ අක්ෂි පටල ද තවත් පුද්ගලයන් තිදෙනෙකුට නිරෝගි ජීවිතයක් ලබාදීමට උපකාරී වී තිබෙනවා.

ඒ අනුව විහඟනාගේ සිරුරෙන් ලබාගත් අවයව කොටස් 5ක් පුද්ගලයින් 7දෙනෙකුට තවත් බොහෝ කලක් නිරෝගිව ජීවත්වීමට උපකාරී වනවා.

එමෙන්ම විහඟනාගේ අවයව බද්ධ කළ රෝගීන් සියලුදෙනා මේ වනවිට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව වාර්තා වනවා.

විහඟනා වීරසිංහ අඹන්පොල නගරයෙ පදිංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවා වන අතර ඇයට වැඩිමහල් සොහොයුරෙක් සහ සොහොයුරියක් සිටින බවයි වාර්තා වන්නේ.

විහඟනා උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් හදාරා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙක් වන අතර ඇයගේ සහෝදරිය මේ වනවිට වයඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා.

පසුගියදා අනුරාධපුරයේ ඉදිකෙරෙමින් පවතින සඳහිරු සෑයේ ඉදිකිරීම් සඳහා ගඩොල් ඇදීමේ පුණ්‍යකර්මයට දායකවී නිවසට පැමිණි විහඟනාට හදිසියේ ඇති වූ හිසේ අමාරුවක් හා වමනය හේතුවෙන් රෝගී තත්ත්වයට පත්වුණා.

ඒ අනුව පසුගිය 17 වනදා විහඟනා, ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව ඇයගේ රෝගී තත්ත්වය බරපතළ වීම හේතුවෙන් එදින රාත්‍රියේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

ඒ වනවිටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවු ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දීම මරණින් පසුව සිරුරු කොටස් දන්දීම සඳහා ගිවිසුම්ගතව සිටි බව පැවසෙනවා.