Latest News

රැකියා සඳහා විදෙස්ගත වන කාන්තාවන් මේ දේ දැනගෙන යන්න

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතව සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමි‍ණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත්තේ, එම තීරණය අප්‍රේල් මස 1 වනදා සිටි ක්‍රියාත්මක වන බවයි.

එම කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවල කම්කරු සුබසාධන අංශ යටතේ සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇති අතර, එමගින් විදේශ රැකියාවල නියුතුව සිටියදී අවශ්‍ය විවිධ සේවාවන් ලබාගැනීම සඳහා තානාපති කාර්යාල වෙත පැමි‍ණෙන කාන්තාවන්ට අවශ්‍ය සුභසාධන පහසුකම් හා නේවාසික පහසුකම් ලබාදීම සිදුකරනු ලබනවා.

අදාළ සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇත්තේ, නීත්‍යානුකූල රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් පමණක් වන නමුත් මේ දක්වාම කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශගතවු කාන්තාවන් වෙතටද සුරක්ෂා නිවාසවලින් අවශ්‍ය සියලු සුභසාධන පහසුකම් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබෙනවා.

කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතවන කාන්තාවන් සුරක්ෂා නිවාසයට පැමිණෙන අවස්ථාවලදී ඔවුන් විවිධ ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර ගන්නා අතර එම ගැටුම් පාලනය කිරීමට පොලිසියේ සහාය ලබාගැනීමට සිදුවූ අවස්ථාද පසුගිය දිනයන්හීදී ජනමාධ්‍ය මගින් ප්‍රචාරණයවීමද සිදුවුණා.

එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විවිධ නීත්‍යානුකූල නොවන මාර්ගවලින් රැකියා සඳහා විදේශ ගතව සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමි‍ණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට කාර්යාංශය තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම නීත්‍යානුකූල මාර්ගයන්ගෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීමට උනන්දු කිරීමත්, විවිධ තැරැව්කරුවන් හා නීත්‍යානුකූල නොවන විදේශ රැකියා ආයතනවල මැදිහත්වීමෙන් විදේශ රැකියා සඳහා කාන්තාවන් යොමුවීම අ‍ධෙර්යමත් කිරීමටත් ගනු ලැබූ පියවරක් වශයෙන් කාර්යාංශය මෙම තීරණයට එළැඹ ඇති බව වාර්තා වනවා.