Latest News

දැනුමෙන් දරුවන් පෝෂණය කරන ගුරුවරුන්ට ජනපතිගෙන් සුභාශිංසන

ලෝක ගුරු දිනය අදට (05) යෙදී තිබෙනවා.

යුනෙස්කෝව විසින් ලෝක ගුරු දිනය ප්‍රකාශයට පත් කළේ 1994 ඔක්තෝම්බර් 5 වනදා වන අතර ලෝක ගුරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාව ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් (06) වනදා වේ.

වෘත්තියක් වශයෙන් ගත්කළ සමාජයේ ගරුබුහුමන් ලබන ගෞරවාන්විත සේවාව ගුරු සේවයයි, අනාගතය වෙනස් කරනට වර්තමානයේ වෙහෙසෙන ගුරුවරුන් සමාජයේ වන්දනීයත්වයට පත්වන්නේ එනිසයි.

මේ අතර අදට යෙදී ඇති ලෝක ගුරු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ,

“ගුරුවරයා යනු සුපැහැදිලි අනාගතයක් උදෙසා දරුවාට මඟ පෙන්වන්නා ය. දෙමව්පිය ඇසුරෙන් පසු ගුරු ඇසුරට පත් වන දරුවා හික්මවමින් ගුණවත්, විනයගරුක හා දැනුමින් සපිරි දරුවකු බවට පරිවර්තනය කර සමාජගත කරන්නේ ගුරුවරයා ය. එවැනි අභිමානවත් හා ගෞරවනීය වෘත්තියක නියැලෙන ඔබ සැමට සුබ ගුරු දිනයක් වේවා යි අද දින මාගේ සුභාශිංසන එක් කරන අතර ම තවත් සුවහසක් දරු පිරිසක් දැනුමින්, නුවණින් හා විනයෙන් පෝෂණය කිරීමට හැකි වේවා යි මම ප්‍රාර්ථනා කරමි.”