දෙහි කට්ටක් හිසේ ඇනගත්තොත් අනවශ්‍ය රෝම පාලනය වෙනවද?
මේක මම හතේ පන්තියේ ඉන්දැද්දී කියවපු පොතක තිබුණු පරණ ජනකතාවක්. ඉතින් මේ කතාවේ හැටියට එක දවසක්දා එක ගමක හිටපු යකැදුරෙකුට දුර පළාතක තොවිලෙකට යන්න වුණාලු. හැබැයි තොවිලේ නටලා ආපිට එද්දී එක යකෙක් යකැදුරාගේ ඇඟට වැහිලා.
දිගුවට වැඩුණු රෝම, ලොවි ගෙඩි දෙකක් වගේ රත්පාට වුණ දෑස, මුව දෙපැත්තේ දෙහි කටු තරම් දිග දත් පෙන්නලා යකැදුරාව බියවද්දන්න යකා නොකරපු දෙයක් නැතිලු. හැබැයි ඇති පදම් යක්කු මට්ටු කරලා තියන නිසා ඔය කිසි දේකට බය නොවුණු යකැදුරා දෙහි කටුවක් අරගෙන මතුරලා යකාගේ හිස් මුදුනේ ගැහුවලු. එදායින් පස්සේ යකැදුරාගේ ගෙදර වැඩකාර කොලුවා බවට පත්වෙලා තියෙන්නේ දෙහි කට්ටෙන් හීලෑවුණ ඔන්න ඔය යකා. දරුමල්ලෝ නැති එකේ යකැදුරාගේ මායියත් මේ වැඩකාර කොලුවට පණ ඇරලලු හිටියේ. ඔන්න ඉතින් දවසක් මේ යක් කොලුවාට හිසේරුදාවක් හැදිලා යකැදුරාගේ මායියා තෙල් ඩිංගක් ගාලා හිස අතගාන්න ලැස්ති වුණාලු. ඔය ඇසිල්ලේ කොලුවාගේ හිසේ රැදුණ දෙහි කට්ට දැකලා “මේන් පුතේ උඹේ හිසේ කටුවක්” කියලා දෙහි කටුව ගලවලා දාලා. ඒත් එක්කම වගේ කොලුවගේ සිරුරේ වහංවෙලා හිටපු අර යකා ආපහු ආවේශ වුණාලු. ඊටපස්සේ හිටු හිටු කියලා දික්වෙන්න පටන්ගත්ත කොලුවගේ රෝම දැකලා යකැදුරාගේ මායියා පණ එපෝ කියලා දුවන්න ගත්තලු. අන්තිමට යකැදුරා ඇවිත් මතුරපු දෙහි කට්ට යකාගේ හිසේ රැන්දුවට පස්සෙ තමයි යකා ආපහු වතාවක් මට්ටු වුණා කියලා කියන්නේ.
හිසේ දෙහි කටු ඇතා නැතා කියලා නෑ සමහර වෙලාවට ඔය යකාගේ වගේම සමහර බවලත් උදවියගේත් ශරීරවල රෝම දික්වෙනවා. ඒවා මට්ටු කරගන්න මතුරපු දෙහි කටු නැති වුණාට ඕනෑතරම් ස්වාභාවික සත්කාර ආයුර්වේදයේ නම් සඳහන් වෙනවා. හැබයි ඉතිං වැඩේ කියන්නේ රෝම ඉවත් කරන්න රේසර්, ට්වීසර් භාවිතය, ක්‍රීම් වර්ග සහ වැක්ස් කිරීම වගේ කෘත්‍රිම ක්‍රම යොදාගැනීමටයි අද වෙද්දී බොහෝදෙනා පුරුදුවෙලා ඉන්නේ. කාන්තා සිරුරේ වැඩි වශයෙන් ඉකිළි කිහිළි ආශ්‍රිතව හා අතපයෙහි රෝම වැඩීම සිදුවෙන්නේ ජානමය හෝ හෝමෝනමය බලපෑම් මතයි. ඒ නිසා ඒ හේතු නොදැන කෘත්‍රිම ක්‍රම හරහා රෝම ඉවත් කිරීමට යාමෙන් සිදුවන්නේ සමට අනවශ්‍ය ලෙස හානි වීමයි.
ඒ විදියට සමට හානි කර නොගෙන පහත දැක්වෙන ස්වභාවික සත්කාර කිහිපයෙන් අනවශ්‍ය රෝම පහසුවෙන්ම ඉවත් කරගන්න පුළුවන්.
සීනි තේ හැඳි දෙකකට ලෙමන් යුෂ තේ හැඳි 02ක්, මී පැණි තේ හැඳි 02ක් හා වතුර තේ හැඳි 02ක් එක්කර මදගින්නේ රත්කරගන්න. එය නිවුණ පසු රෙදි කැබැල්ලක මිශ්‍රණය තවරා රෝම සහිත ස්ථාන ආවරණය වන ලෙස ආලේප කර ප්‍රතිවිරුද්ධ දිශාවට ගලවා ඉවත් කරගන්න.
අල ගෙඩියක යුෂවලට පොඟවා ගෙන තලපයක් ලෙස අඹරාගත් පරිප්පු කෝප්පයක් දමා එයට මී පැණි මේස හැඳි 02ක්, ලෙමන් යුෂ මේස හැඳි 02කුත් එක්කර අදාළ ස්ථානවල ආලේප කරගන්න.
බිත්තර සුදු මදයක්, ඉඟුරු පිටි මේස හැන්දක් සහ සීනි මේස හැන්දක් එක්කර සකසාගත් මිශ්‍රණය රෝම අධික ස්ථානවල ගල්වා විනාඩි හතළිස් පහක් පමණ වියැළෙන්න හරින්න. එය වේලුණු පසු සිවියක් ආකාරයෙන් ගලවාගත හැකියි.
මීට අමතරව නෙල්ලි, රසකිඳ, රණවරා බෙලිමල්, සව්, තැඹිලි, කරපිංචා කොළ කැඳ, ඉරමසු හා වදමල් සතියකට සැරයක් පානය කිරීමෙන් රුධිරය පිරිසිදු කරගත හැකියි. ඒ ලෙස රුධිරය පිරිසිදු වීම අධික ලෙස රෝම වැඩීමට හේතුවක් වුණ හෝමෝන විපර්යාසවලට ඉතා හොඳ විසඳුමක්. මානසික සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම, සමබල ආහාර ලබාගැනීම පමණක් නොව කෘත්‍රිම ආහාරපානවලින් හැකිතාක් වැළකී සිටීම මගිනුත් අධික ලෙස රෝම වැඩීම වළක්වාගන්න පුළුවන්.
නෙත්මි තෂාරා
උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව)
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල