Uncategorized

දරුවන්ට කොච්චර ආදරේ වුණත් මැරෙනකල් මහගෙදර ඔප්පුව ලියන්න එපා

“පුතා කිව්වා ලබන මාසේ මාවයි මහත්තයවයි eldery care home එකක නවත්තනවා කියලා” මුහුදු හතෙන් එහා ජීවත්වෙන මිසිස් එලිසබත් ඒක කිව්වේ පුදුම ආඩම්බරයකින්.

“අපි නොකා නොබී දරුවෝ ලොකු මහත් කළා , අන්තිමට එයාල අපිව වැඩිහිටි නිවාසෙකට ගෙනත් දැම්මා” කියලා කොග්ගල නන්දාවතී හාමිනේ කිව්වේ චීත්ත රෙද්දේ කොණකින් කඳුළු පිහින ගමන්.

මේ එකම දේ ගැන රටවල් දෙකක, අන්ත දෙකක ඉඳගෙන කතා කරන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද?

අපි හැදී වැඩුණු අපේ ලාංකික සමාජයේ බහුතරයකට අනුව වැඩිහිටි නිවාස කියන්නෙම Negative Concept එකක්. මහලු වයසේ වැඩිහිටි නිවාසයක ජීවත් වෙන්න වෙනවා කියන එක  සංසාරේ කරුමයක් පලදීමක් කියලයි ගොඩක් අය හිතන්නේ.

හැබැයි, පිටරටවල තත්ත්වය වෙනස්. ඔවුන් වැඩිහිටි නිවාසයක් කියන්නෙ පාලුවට ගිය මැස්සෝ ඇහිරෙන දුක්බර තැනකට  නෙමෙයි. ඒ වගේම ඔවුන් එතන ජීවත් වෙන්නේ දුකිනුත් නෙමෙයි.

එකම concept එක, එක රටක වැසියන්ට පිනක් ලෙසත් තවත් රටක වැසියන්ට පවක් ලෙසත් දැනෙන එක අමුතුයි වගේ හිතුනට ඒක වෙන්නේ මෙහෙමයි.

ලාංකික පවුල් ජීවිතයි, දරුවොයි කියන්නේ ඉතා තදින් එකිනෙකට බන්ධනය වුණ බැඳීම් දෙකක්. දෙමව්පියො හම්බකරන හැම සතයක්ම සීමා රහිතව දරුවෝ වෙනුවෙන් වියදම් කරනවා.

සමහරු බඩෙන් බාගෙට කකා, වැරහැලි ඇඳ ඇඳ හරි දරුවන්ට සුර සැප දෙනවා. වචනයෙන් නොකිව්වට ඒ සියලු කැපකිරීම් තුළ සැඟවිච්ච හීන් බලාපොරොත්තුවක් හිතේ යටම හරියේ මෝදු වේවී වැඩෙන්න ගන්නවා. ‘අපි දැන් දුක් වින්දට දරුවෝ ලොකු වුණාම මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයිනේ’ කියලා තමන්ටම  කියාගෙන, වදෙන් පොරෙන් හොයා හොයා දුක් විඳ විඳ දරුවොත් ඇදගෙන දෙමව්පියෝ ජීවිත තරඟය දුවනවා.

ට්‍රිප් එකක් යන්නෙ නැහැ, හරියට කන්නේ අඳින්නේ නැහැ, තරුණ කාලය වගේම හම්බ කරන සියල්ලම ගෙවල් හදන්නයි, දරුවෝ හදන්නයි වියදම් කරනවා.

ළමයි ලොකු වෙලා, එයාලගෙ ජීවිතවල කූඩු වෙනකොට ඉතුරු වෙලා තිබ්බ මහගෙදර ඔප්පුවයි, අනිත් සබ්බ සකලමනාවයිත් බෙදලා දීලා නිදහස් වෙනවා කියලා හිතාගෙන ඒකත් කරනවා. අවසානයේ ඔවුන් ඉටුකළ යුතුකම්වල පරිමාවට සාපේක්ෂව ඔවුන්ව බලාකියාගැනීම දරුවන්ගේ යුතුකමක් විදිහට හිතනවා.

අවසානයේ දෙමව්පියන්ගෙන් එක කොටසක්, රැකියාවට යන දරුවන්ගේ ගෙවල් දොරවල් බලාකියා ගන්න, මුණුබුරෝ මිනිබිරියෝ ලොකු මහත් කරන්න, කෑම උයලා, ගෙවල් දොරවල් අස් කරන්න, දරුවන්ගේ දරුවෝ ළදරු පාසල් ගෙනියන්න, රාජකාරි භාර අරගෙන සතුටින් හෝ අසතුටින් නිල නොලත් සේවක සේවිකාවෝ විදිහට පත්වීම් ලබනවා.

දරුවන්ගේ වැරදි හෝ දෙමව්පියන්ගේ වැරදි නිසා තවත් කොටසකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැඩිහිටි නිවාසගත වෙන්න සිද්ධ වෙනවා.

ඇඳවල් පෝලිමක එක ඇඳක, පුංචි මේසයක, ජීවිතය රාමු කරගෙන නියමිත වෙලාවට දෙන දෙයක් කාලා, පාළක පාළිකාවන්ගේ නීති රෙගුලාසි අනුව ජීවත් වෙන්න වෙනවා.

කොහොම වුණත් ජීවිතේ හවස්වරුවෙදි මුණුබුරෝ මිනිබිරියෝ ලොකු කරන දෙමව්පියො ගත්තත්, බෑනලා ලේලිලා එක්ක ගැටෙන දෙමව්පියො ගත්තත්, පාලුවෙන් තනියෙන් වැඩිහිටි නිවාසෙක ජීවත්වෙන දෙමව්පියො ගත්තත් ඒ බහුතරයක් ඉන්නෙ සතුටින් නම් නෙමෙයි.

දියුණු රටවල තත්ත්වය මීට වඩා වෙනස්.

එයාලා කසාද බඳින්නේ දරුවෝ හදන්නම නෙමෙයි. නමුත් ඉපදෙන දරුවන්ට හොඳට උගන්නනවා, පෝෂණය කරනවා, දරුවෝ වෙනුවෙන් ආයෝජනය කරනවා, ඔවුන්ගේ විනය හදනවා, හැබැයි අපේ දෙමව්පියෝ වගේ සියල්ල දරුවන් වෙනුවෙන් කැපකිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය ලබාදෙන ගමන් ඔවුනුත් ජීවිතය විඳිනවා, ලස්සනට අඳිනවා, විනෝද වෙනවා, දරුවන් වෙනුවෙන් වගේම ඔවුන් වෙනුවෙනුත් ඔවුන් ඉතුරු කරගන්නවා. ඒ අතරම දරුවෝ අපිව බලාගනියි කියන සංකල්පය තුළම එල්බගෙන නොසිට ඔවුන්ගේ විශ්‍රාම ජීවිතය කලින්ම ප්ලෑන් කරනවා.

ජීවිතේ තරුණ කාලේ වගේම මහලු කාලෙත් දරුවෝ දෙමව්පියන්ටත් දෙමව්පියෝ දරුවන්ටත් ඇඟිලි ගහන්නේ නැහැ. පුළුවන් හැමවෙලාවෙම ඔවුන් දෙගොල්ලෝ ඔවුනොවුන්ව සතුටෙන් බලාගන්නවා. මොනම හේතුවක් නිසා හරි ජීවිතේ අවසාන කාලේ වැඩිහිටි නිවසකට යන්න වුණොත් ඔවුන් යන්නේ පුදුම සතුටකින්. (සමහරු තරුණ කාලෙම වැඩිහිටි නිවාසවලට ගෙවීම් කරමින් ගිවිසුම්වලට අත්සන් කරනවා)

ලාංකික අපි දැකලා තියෙන වැඩිහිටි නිවාසවලට වඩා ඒවා සම්පුර්ණයෙන්ම වෙනස්. තමන්ගේ ආර්ථිකයේ පරිමාවේ හැටියට මුදල් ගෙවා හෝ රාජ්‍ය අනුග්‍රහයෙන් ඔවුන්ගේ විශ්‍රාම දිවිය නිදහසේ සතුටින් ගත කරන්න ඔවුන් යන්නෙ බොහොම කැමැත්තෙන්.

පිරිසක් සම වයසේ අය එක්ක ජීවිත අත්දැකීම් බෙදාගන්නවා. තමන්ගේ වයසේ සෙට් එකත් එක්ක එකතු වෙලා TV SERIES බලනවා. තවත් සමහරු සෙට්වෙලා හිනාවේවී කතාව. සීයලා ටික කැරම් ගහනවා. තවත් කට්ටියක් පොත් කියවනවා. එක්කෙනක් දෙන්නෙක් ආගම සිහිකරනවා. එක්කෝ ව්‍යායාම කරනවා. සමහරු වත්තේ වගා කරනවා. ගැලපෙන ක්‍රීඩා කරනවා.

ඒ නිසා ජීවිතේ බොහෝ කාලවලදී වගේම මහළු වියේදීත්, හැමෝම වගේ ඉන්නේ බොහොම සතුටකින් වගේම සැනසීමෙන්.

තරුණ කාලේ තමන් උපරිමයෙන් ජීවිතේ විඳපු නිසා දරුවොන්ගේ ජීවිත දිහා බලලා ඔවුන්ට දුක් වෙන්න දෙයක් නැහැ. මේ ක්‍රමය සමාජය පුරාම හුරුවෙලා තියෙන නිසා මහලු විය මේ විදිහයි කියන එකට මනසට මුල ඉඳලම නුහුරුත් නැහැ. වැඩිමහලු ඔවුන් වෙනුවෙන්ම බොහෝ ක්‍රීඩා, events, විනෝදාංශ තියෙන නිසා කාලය ගතවීම වෙහෙසක් විදියට ඔවුන්ට දැනෙන්නෙත් නැහැ.

ඔවුනුත් අපේ දෙමව්පියෝ වගේම දරුවෝ වෙනුවෙන් බොහෝ දේ කැප කරනවා. හැබැයි ඒත් සියල්ලම නෙමේ. ඒ වගේම ඔවුන් දරුවන්ගෙන් සමහර දේවල් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒත් සියල්ලම නෙමේ.

වර්තමාන අපේ යුගයේ කෙසේ වෙතත්, අපෙන් පස්සේ පරම්පරාව ඒ කිව්වේ අපේ දරුවෝ අපි වයසට ගිහාම අපි ගැන බලයි කියලා, උවමනාවක් තිබ්බත් මේ ජීවිත රේස් එකත් එක්ක ඔවුන්ට ඒ වෙනුවෙන් කාලයක් හැකියාවක් තියෙයි කියලා ඔබ හිතනවද?

අපි හිතන තරමටවත් අපේ දරුවෝ අපි ගැන හිතයි කියලා ඔබට විශ්වාසද?

සමහරවිට හෙට දවසේ අපේ දරුවන්ට අපිව මඟ ඇරෙන්න පුළුවන්. හිතාමතා මඟඅරිනවා වෙන්නත් පුළුවන්. ඔවුන් කාර්යබහුල වෙන්න පුළුවන්. උවමනාව තිබ්බත් ආර්ථික හැකියාවක් නැති වෙන්න පුළුවන්. අද ඔබ උකුලේ තියාගෙන හුරතල් කරන දරුවා අතින් හෙට දවසේ මේ සියල්ල වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්.

ඒත් තාමත් ඔබ ප්‍රමාද නැහැ.

අපේ දෙමව්පියෝ වගේ, අපි වගේ, අපේ දරුවොත් එයාගේ දරුවොයි, දෙමව්පියෝයි දෙගොල්ලක් අතරට මැදිවෙලා සැන්ඩ්විච් වෙන්න ඕනේ නැහැ.

දරුවෝ වෙනුවෙන් යුතුකම් ඉටු කරන ගමන් සත පනහ ගානේ හරි ඔය දෙන්නා වෙනුවෙනුත් ඉතුරු කරන්න. මොනතරම් ආදරේ තිබ්බත් මහගෙදර ඔප්පුවවත් මැරෙනකම් ඔයාගේ නමටම තියාගන්න. එතකොට පන්සලට දෙන්න, දන් පින් කරන්න, බැරිම වුණොත් තරමක් හෝ හොඳ වැඩිහිටි නිවාසෙකට යන්න හරි ආර්ථික හයිය ඔබට ඉතුරු වෙයි.

ලෝකෙම දියුණු වෙනකොට මිනිස්සු යන්ත්‍ර වෙන එක නවත්තන්න ඔයාටයි මටයි බැහැ. හැබැයි, ඒ යන්ත්‍රවල රස්නයට පිච්චෙන්නේ නැතුව ඉන්න ඔබට පුළුවන්.

ධනාත්මක මනසකින් හිමින් හිමින් මේ දිහා බලන්න පුරුදු වුණහම අනාගතයේ වැඩිහිටි අවදියේ දුකක්, පශ්චාත්තාපයක් නැතුව හුස්ම ගන්න පුළුවන් මට්ටමට ඔබේ මනස ඉබේම නිර්මාණය වෙලා තියෙයි.

බොහෝ දේවල් දිහා බලනවා වගේම වැඩිහිටියන් බලාගැනීමේ මධ්‍යස්ථාන එහෙමත් නැත්තම් වැඩිහිටි නිවාස කියන සංකල්පය ආසියාතික අපි අල්ලගෙන ඉන්නෙ වැරදි කොණකින්.

නිවැරදි දැක්මකින් බැලුවොත්, නිවැරදි විදිහට ක්‍රියාත්මක වුණොත්, වැඩිහිටි නිවාස කියන්නෙ ජීවිතේ අවසාන කාලයේ හැමෝම විඳින්නම ඕනේ රසවත් සංකල්පයක්.

වැඩිහිටි නිවාස කියන්නෙ සාපයක්, පාපයක්, කරුමයක්‌ කියලා හිතාගෙන ඉන්න ඍණාත්මක මානසිකත්වයෙන් මිදිලා, පුළුල් විදිහට ප්‍රයෝගිකව ලෝකය දිහා බලලා, සතුටෙන් ඉන්න වැඩිහිටියෝ වෙන්න ඕනේ නම්, ඒ වැඩේ තියෙන්නේ ඔයාගේ අතේ.

හෙට දවසේ ලංකාවේ eldery home සංකල්පය මීට වඩා පුළුල් විදිහට, තරු පන්ති පහසුකම් සහිතව නිර්මාණය වෙලා තියෙයි.

එතකොට අද සතුටෙන් ඉන්නවා වගේම හැරමිටියෙන් යනකොටත්  luxury eldery home එකකදි, සතුටෙන් එකතු වෙලා කැරම් අතක් ගහන්න, ඕපයක් කියවන්න, නිදහසේ පොතක් කියවන්න, කොටින්ම කිව්වොත් දත් නැතුව හරි සැහැල්ලුවෙන් හිනාවෙන්න අපිට පුළුවන් වෙයි.