දිරිය දිනූ කතුන්

එදා ඒ මල්කළඹ ගෙදර අරන් ගිහින් කාමරේ තියාගත්තට පස්සෙ දෙවියන්වහන්සේ මට පණිවිඩයක් දුන්නා

මල් කෙල්ලෝ කිව්වම අපිට මතක්වෙන්නේ කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන සීදේවි කෙල්ලො ටික වුණාට මේ මල් කෙල්ලන්ට ඊට වඩා දිග ඉතිහාස කතාවක් තියෙනවා. අපට මුලින්ම මල් කෙල්ලෝ ගැන අහන්න ලැබෙන්නේ පන්සිය පනස් ජාතක පොතේ තියෙන අන්ධභූත කියන ජාතකයේ. ඒ ජාතක කතාවේ මල් කෙල්ලන් ගැන විතරක් නෙවෙයි ඔවුන් මල් වෙළඳාම කරපු විදිහ ගැනත් අපූරුවට විස්තර වෙනවා. ලංකා ඉතිහාසයෙත් මල් කෙල්ලන් ගැන රජ දවසේ ඉ‍ඳන්ම කියැවෙනවා. ඒ කාලේ රජ මාලිගාවට අලුත්ම මල් සපයන්නම පත් කරපු මල් කෙල්ලෝ හිටියලු. ඔවුන්ගේ රාජකාරිය වෙලා තියෙන්නේ උදෙන්ම වැවට ගිහිල්ලා ඕලු, නෙළුම්, මානෙල් වගේ සුවඳ හමන ලස්සන මල් මාලිගාවට ගෙනැල්ලා රජ මාලිගාව ඒ මලින් සරසන එක. එහෙම ගේන මල් අතරින් සුවඳම මල්වලින්ලු දේවියගේ කුටිය සරසන්නෙ. සමහරවිට තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ රාජ සභාවත් පේරාදෙණිය මල්වත්තට කිට්ටු තැනක තිබුණය කියන්නේ ඔය හින්දමද දන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි සමහර රජවරු තමන්ගේ අගබිසව විදියට ඔය මල් කෙල්ලන්ව සරණපාවා ගත්ත කතාත් ජනප්‍රවාදයේ ඕනතරම් අහන්න ලැබෙනවා.

අපි මල් කෙල්ලන්ගේ ඉතිහාස කතාව කියලම මේ කතාවට ආරම්භය ගත්තේ මේ කියන්න යන කතාවත් මල් කෙල්ලෙක් ගැන හින්දා. මේ මල් කෙල්ල අපට මුණගැහුනේ ජාඇලදි. ඒ ප්‍රදේශයේ අයට අලුත් නැති වුණාට මේ මල් කෙල්ල අපට අලුත් නිසා අපි ඇයත් එක්ක ටිකක් කතා කරලා බලන්න හිතුවා. ඒ කතාබහ අතරතුරේ තමයි අපි දැනගත්තේ ඇය නිකන්ම නිකන් මල් කෙල්ලක් නෙවෙයි, මල්වලින් ජීවිතේ දිනපු දැනට ලංකාවේ ඉන්න ළාබාලතම මල් කෙල්ල කියලා. පෙනුමෙනුත් මලක් වගේ හැඩට හිටපු නිසා ඇයගෙන්ම මෙවර ‘ධරණී’ කවරය සරසන්නත් අපි ඔන්න දෙපාරක් හිතුවේ නෑ. ඇය තමයි ‘නෙත්මි ෆ්ලෝරා’ මල් ව්‍යාපාරයේ හිමිකාරිනිය වන නෙත්මා ප්‍රසන්සනී පෙරේරා.

“මං මල්කළඹ (Flower Bouquets), මංගල මල්කළඹ (Bridal Bouquets), මල්වලින් කරන සියලුම මංගල සැරසිලි (Wedding Decorations), මංගල කාර් සැරසිලි, කඨින පින්කම්වල මල් සැරසිලි, අවමංගල්‍යවල මල් සැරසිලි ඇතුළුව මල් හා සම්බන්ධව කරන ඕනම වැඩක් කරනවා. අනිත් එක ඒ හැම එකකටම යොදාගන්නේ අමු මල් (Fresh Flowers) විතරයි.”

නෙත්මාගේ වයස දැන් අවුරුදු 23ක් වුණාට ඇය මල් ව්‍යාපාරයට අතගහලා තියෙන්නේ අවුරුදු 19දි. හැබැයි ඒ වෙද්දි ඇයගේ තුන්හිතකවත් මල් ව්‍යාපාරයක් කරන්න අදහසක් තිබිලා නෑ. නෙත්මාගේ විශ්වාසය ඒක දෙවියන් වහන්සේගෙන් ඇයට ලැබුණු සුවිශේෂී තෑග්ගක් කියලා.

“මං ක්‍රිස්තියානි. දවසක් අපේ පල්ලියට (Ebenezer Fivefold Ministries, Seeduwa) ගියාම මට හිතුණා පල්ලියේ දේශනා කූඩුවේ කියවීම් කරන තැන මල් එකක් තියන්න. ක්‍රිස්තියානි පල්ලිවල, රෝමානු කතෝලික පල්ලිවල වගේ එහෙම මල් සැරසිලි කරනවා හරි අඩුයි. මං මල් එක තියන්න හිතුවේ හැමදාම ඉරිදට. පස්සේ මං ඒක කළා. දවසක් පල්ලියේ වැඩ ඉවර වුණාට පස්සේ පල්ලියේ ෆාස්ටර් (දේවගැතිතුමිය) මට ඇවිදින් කිව්වා ‘නෙත්මා ඔයා මේ මල් එක ගෙදර අරන් ගිහිල්ලා ඔයාගේ කාමරේ තියාගන්න’ කියලා. එහෙම කෙරුවම මට දෙවියන් වහන්සේ විසින් දියුණුවෙන්න මොකක් හරි මාර්ගයක් පෙන්නයි කිව්වා. ටික දවසකින් මගේ හිත කිව්වා නෙත්මා ඔයා මල් බිස්නස් එකක් කරන්න පටන්ගත්තොත් ඒක දියුණුවෙන් දියුණුවට පත්වෙනවා කියලා. පස්සේ මං ගෙදර අයගෙත් උදව් අරගෙන පොඩියට ඒකට අතගැහුවා.”

නෙත්මා මුලින් කරලා තියෙන්නේ තාත්තට කියලා අමු මල් ගෙන්නගෙන ඒවගෙන් පුළුවන් විදියට මල් කළඹවල් හදපු එකලු. පස්සේ ඇය ඒ හදන හදන එක ෆොටෝ ගහලා ‘නෙත්මි ෆ්ලෝරා’ කියලා ෆේස්බුක් පේජ් එකක් හදාගෙන ඒකෙ පළකරලා. ඒ හරහා තමයි ඇය මල් සම්බන්ධ සැරසිලි කරන බව ගොඩාක් අය දැනගෙන තියෙන්නේ.

“දවසක් අපේ නෑදෑ අක්කෙක් මට කතා කරලා මල් බොකියක් ඉල්ලුවා. ඒ තමා මං කරපු පළවැනි බිස්නස් එක. පස්සේ මං ගැන අපේ ගමේ හැමතැනම ප්‍රචාරය වෙන්න ගත්තා. ෆේස්බුක් එක හරහාත් මගේ ගැන ගොඩාක් අය දැනගත්තා. ඔය අතරේ මට මල් සැරසිලිවලට පොඩි පොඩි ඕඩර්ස් එන්න ගත්තා. මං ඒවත් පුළුවන් උපරිමයෙන් බාර අරන් කරලා දුන්නා.”

නෙත්මාගේ තාත්තා කරන්නේ කර්ටන් ව්‍යාපාරයක්. ටික ටික බිස්නස් එනකොට තාත්තා නෙත්මට කිව්වලු කැමති නම් ඔහුගේ කඩෙන් කොටසක නෙත්මි ෆ්ලෝරා කියලා පොඩි ශොප් එකක් පටන්ගන්න කියලා. ඒ වෙනකොට නෙත්මගේ හිතෙත් එහෙම අදහසක් තිබුණු හින්දා ඇය වැඩේට එකපයින්ම කැමතිවෙලා. එහෙමයි ජාඇල, දඬුගමින් නෙත්මගේ මල් ව්‍යාපාරය පටන් අරගෙන තියෙන්නේ.

“ශොප් එක ඇරලා දවස් කීපයයි ගියේ පල්ලියකින් ඕඩර් එකක් ආවා. ඒ අතරේ වෙඩින්වලින් ඕඩර් ගලාගෙන ආවා. ඒ හැම වැඩේම මං බාර අරගෙන හරියට කෙරුවා. මං මල් සැරසිලි සම්බන්ධව කිසිම පාඨමාලාවක් කරලා නෑ. හැමදේම ඉගෙනගත්තේ තනියෙන් මහන්සි වෙලා. ඉතින් දිගටම ඕඩර්ස් එද්දි මට මං ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.”

ඒ වෙනකොට නෙත්මට ලොකුම අභියෝගය වුණේ අමු මල් හොයාගන්න එකලු. ඒත් තාත්තගේ උදව් ඇතුව ඇය කෙළින්ම නුවරඑළියෙන් අමු මල් මිලට ගන්න තීරණය කරලා.

“මල් සැරසිලිවලට හැම මලක්ම ගන්න බෑ. ඒකට විශේෂ මල් වර්ග තියෙනවා. ඒ මල් තියෙන්නේ නුවරඑළියේ. මං මගේ ගොඩාක් මල් වැඩවලට ගන්නේ රෝස මල්, ජෙබ්රා, ඩේසි, ලිලී, ටියුලිප්, ක්‍රිෂාන්තිමම්, ඩැම්මිචෙල් සහ ඇස්ට්‍රොමෙරි වගේ මල්. ඒ මල් මිලෙන් අධිකයි. සමහර මල් තියෙනවා එක මලක් රුපියල් පන්සීයක් විතර වෙනවා. ඒත් මම ඒවා ගන්නවා. ඒ මොකද මලක මිලට වඩා මං මේ කරන වැඩේ ප්‍රමිතිය මට හරි වටිනවා.”

මලුත් එක්ක ගනුදෙනු කෙරුවට මොකද ඕඩර් එකක් ආවම නෙත්මට ඒ වෙනුවෙන් සෑහෙන ලොකු මහන්සියක් දරන්න වෙනවලු. විවාහ මංගල උත්සව එහෙම බාරගත්තම මුළු රෑම නිදිමරාන ඒ වෙනුවෙන් වෙහෙසෙනවලු. හැබැයි ඒ හැමදේම කරන්නේ ආසාවෙන් නිසා ඇය ඒක මහන්සියක් විදියට ගණන් ගන්නේ නෑ කියලයි අපිත් එක්ක කිව්වේ.

“මේ වෙනකොට මට දුර පළාත්වලිනුත් ඕඩර්ස් එනවා. ගිය සතියේ දඹුල්ලෙන් වෙඩින් ඕඩරයක් ආවා. ඒ වෙලාවට මං එහෙට යන්න ඕන. ඒක තමයි මේ මල් රස්සාවේ හැටි. වැඩ කරන්න තියෙන්නේ මල් එක්ක වුණාට වැඩේ ලේසි නෑ.”

අපි මොන වෘත්තියේ යෙදුනත් ඒ වෘත්තිය තුළ අමතක නැති දවස් අපට ඕන තරම් හම්බෙන්න පුළුවන්. ඉතින් විසිහතර පැයෙන් වැඩිවෙලාවක් මලුත් එක්ක කාලය ගතකරන නෙත්මට ඒ වගේ දවස් හම්බනොවෙන්න විදියක් නෑනේ. අපි ඇයගෙන් ඊළඟට ඇහුවේ ඒ ගැන.

“ළඟදි සීදූව පල්ලියක මංගල්ලෙට මල් සැරසිලි කරන්න මට ඕඩර් එක ආවා. එදා මං ඒකට ගියාට පස්සේ සෑහෙන ලොකු ප්‍රශ්නයකට මුහුණපාන්න වුණා. එදා අමු මල් කියලා මට පල්ලියට එවලා තිබුණේ මල් පොහොට්ටු ගොඩක්. මට කරගන්න දෙයක් නැතිවුණා. ඒත් විශ්වාස කරන්න පැයක් යනකොට අර පොහොට්ටු සේරම පිපුණා. මට ඒක අදටත් විශ්වාස කරන්න බෑ. මොකද ඒ මල් පොහොට්ටු පිපෙන්න හිතලවත් තිබුණෙ නෑ.”

නෙත්මා කියපු විදියට දැන් ඇයව නොදන්න කෙනෙක් ඒ ජාඇල, සීදූව පැත්තේ නැතිලු. මල් කෙල්ල කිව්වම හැමෝම ඇයව හොඳට අඳුරනවලු. 2020 ආරම්භ කරලා වසර හතරක් පුරාවට සාර්ථකව කරගෙන යන නෙත්මගේ මල් ව්‍යාපාරේ එක්ක ගනුදෙනු කරන ඇගේ පාරිභෝගිකයින්ගේ විශේෂ ප්‍රතිචාරයන් ගැනයි ඊළඟට අපි අහලා බැලුවේ.

“දවසක් කැලණියේ අංගොඩ පල්ලියේ මංගල්ලෙට මං ගියා. එදා මගෙන් මල් ගත්ත ගෑනු කෙනෙක් මට මුණගැහිලා මගේ අත්දෙකෙන් අල්ලලා ඔයා කරන හැමදේම හරියන්න ඕන පුතේ කියලා ආශිර්වාද කළා. මට ගොඩාක්ම දැනුණු ප්‍රතිචාරය තමයි ඒක. ඒ ඇරුනම තරුණ අය මට කියන්නේ මල් කෙල්ල කියලා. ඒ නම කියලා කතා කරද්දත් මට ආසයි.”

නෙත්මගේ වයසත් එක්ක ඇය ඇවිත් තියෙන දුර බලද්දි ඇය සාර්ථකයි කියලා ඕන කෙනෙක්ට කට පුරා කියන්න පුළුවන්. දැන් ඇයට ඉල්ලුමට සැපයුම දෙන්න බැරි තරමටම ඕඩර්ස් එන්න අරන්ලු. ඒ නිසා මේ වෙනකොට ආදායම එහෙමත් සරුයි කියලයි ආඩම්බරෙන් ඇය කිව්වේ

“මට මාසෙකට වෙඩින් 15 – 20ක් වගේ ලැබෙනවා. මේ පැත්තේ පල්ලිවල මල් සැරසිලි වැඩත් මටමයි එන්නේ. මං පුංචි කාලේ ඉඳන්ම ආස කළේ මේ වගේ මගේම ව්‍යාපාරයක් කරන්න. මං හරි අකමැතියි තව කෙනෙක් යටතේ සේවය කරන්න. ඒ නිසා දිගටම මං මල් ව්‍යාපාරය කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට නෙත්මි ෆ්ලෝරා ශොප් 3ක් දාලා තියෙනවා. ඒ ජාඇල දඬුගම, සීදූව සහ මිනුවන්ගොඩ.”

නෙත්මා මල් ව්‍යාපාරයේ සියලුම ප්‍රචාරණ කටයුතු කරන්නේ සමාජ මාධ්‍ය හරහා. ඒ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් මඟින්. තමන් දන්න දේ ප්‍රගුණ කරලා සමාජමාධ්‍යයේ උදව්වෙන් ඕනම කෙනෙක්ට දියුණුවෙන්න පුළුවන් කියන කතාවත් නෙත්මා අපිත් එක්ක කිව්වා.

“මං හරිම සතුටුවෙනවා මගේ ගැන. එදා උසස්පෙළ ලියලා සතියකින් දෙකකින් තමයි මං මේ ව්‍යාපාරයට අතගැහුවේ. ඒ වෙලාවේ මං හිතපු දෙයක් තමයි මොන දේ වුණත් මං මේ පටන්ගත්ත දේ කිසිම වෙලාවක අත්හරින්නේ නෑ කියලා. මුල් කාලේ නවතලා දාන්න හිතුණු වෙලාවල් තිබුණා. ඒ වෙලාවට මං තවත් ශක්තිමත් වෙලා වැඩ කළා.”

නෙත්මගේ ගෙවල් තියෙන්නේ ජාඇල, දඬුගම. නෙත්මට අම්මා තාත්තා ඇරුනම ඉන්නේ මල්ලියි නංගියි. ඔවුන් හැමෝගේම සහායත් ඇයට ලැබෙන බවයි නෙත්මා අපිත් එක්ක කිව්වේ. ඒ හැමෝගේම සහායත් අරන් නෙත්මගේ ලොකුම ආසාව ලංකාවම දන්න මල් කෙල්ලක් වෙන එකලු. හැබැයි ඇයට ඒ හපන්කම කරන්න බැරිවෙන එකකුත් නෑ. මොකද උනන්දුව උත්සාහය ඇත් නම් මොනවද කරන්න බැරි? නෙත්මට ඒක තිබුණු නිසානේ ඇයට අඩු වයසකින් මල් ව්‍යාපාරයක් කරගෙන යන ලංකාවේ ළාබාලතම මල් කෙල්ල වෙන්න පුළුවන් වුණෙත්.

“හැමෝටම මොකක්ම හරි හැකියාවක් තියෙනවා. අන්න ඒ හැකියාව හොයාගන ඒක ප්‍රගුණ කළාම කාට වුණත් සාර්ථක වෙන්න පුළුවන්. මුල් දවස්වල සෑහෙන්න අමාරු වෙයි. ඒත් සාර්ථකත්වයට යන්න නම් ඒ අමාරු කාලසීමාව පහුකරන්නම වෙනවා. හරියට අර කන්දක් නැග්ගොත් පල්ලමක් අහුවෙනවා වගේ.”

මලෙන් ජීවිතේ දිනපු නෙත්මා අපේ කතාබහට සමුදුන්නේ එහෙම.

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක