නවතම ප්‍රවෘත්ති

එදා හයිවේ එක අතරමැදදී මහත්තයා මාව උස්සලා ඩිකියට දැම්මා – පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ අමිතා නාලිංගනී අමරතුංග

දේශපාලඥයෙකු වුවද පාලිත තෙවරප්පෙරුම කී සැනින් මතකයට නැගෙන්නේ වෙනස්ම චිත්‍රයකි. ඒ පොඩි මිනිහාගේ පැත්තේ සිටගනිමින් ඔහු කළ යම් යම් දඩබ්බර වැඩ නිසාය. එක්සත් ජාතික පක්ෂයෙන් මතුගම ආසනය නියෝජනය කළ පාලිත තෙවරප්පෙරුම මහතා එක් වතාවක මිනිස්සුන්ට අනතුරක් විය හැකිව තිබූ දුරකතන කණුවක් තනිවම අලවංගුවකින් හාරා ගැලෙව්වේය. තවත් වරෙක මාර්ගයේ අනතුරුදායක ගසක් කපා අයින් කරන තෙක් ගස උඩට වී උපවාසයක් කළේය. පාසලකට දරුවෙක් ඇතුළත් කර නොගත්තාට කෝපයෙන් ඒ පාසල තු‍ළම ගෙල වැළලා ගන්නටද ඒ මහතා සූදානම් විය. ගමේ ප්‍රශ්නයකට විසඳුමක් ඉල්ලා පාරක් අවහිර කරමින් තව වරෙක මහපාර මැද නිදාගත්තේය. ඒ විතරක් නොව ගංවතුර කාලවලදී ඉන් අවතැන් වූ මිනිසුන්ට තුන්වේලම කෑම උයාගෙන ගියේය. කොරෝනා වසංගත කාලය පුරාවට සිය ජීවිතය ගැනද නොසිතා නිරෝධායන ගම්වලට හාල් පොල් ලොරි පිටින් රැගෙන ගොස් බෙදුවේය. ඒ පාලිත තෙවරප්පෙරුම මිනිසුන්ගේ පැත්තේ හිටගත් හැටිය. ඒ වෙනුවෙන් ඔහු බලය ඇතිද නැතිද කියා බැලුවේද නැත. එතරම් හරියක් කළ මේ ජනතාවාදී දඩබ්බරයා පසුගිය අප්‍රේල් 16 වැනිදා දහවලේ සිය ජීවිත කතාව නිම කෙරුවේය. ඒ ඔහුගේ මතුගම තිබූ ඉඩමකදී විදුලිසැර වැදීමක් හේතුවෙනි. ඇතැම් දේශපාලකයින්ගේ මළගම්වලදී සතුටු වූ සියල්ලෝම පාලිත තෙවරප්පෙරුමගේ මරණයෙන් කම්පා වූහ. අඩුතරමේ ඔහු ගැන නුගුණක් කී අයෙක් බෙහෙතකට හෝ සොයාගත නොහැකි විය. අවසන රටට තියා පවුලටවත් බරක් නොවී ඔහු තමා විසින්ම තැනූ සොහොනක මිහිදන් වෙන්නට සිය අවසන් කැමැත්තද ලියා ගත්තේය. පාලිත තෙවරප්පෙරුම හිටපු අමාත්‍යවරයා මියයාමෙන් පසු ඔහුගේ ආදරණීය බිරිඳ වන අමිතා නාලිංගනී අමරතුංග මහත්මියට අප කතා කළ අතර මේ සිය සැමියාගේ මරණින් පසු ඇය ප්‍රසිද්ධ මාධ්‍යයක් වෙත කතා කළ පළමු අවස්ථාවයි.

 

*නොහිතපු මොහොතකදි පාලිත තෙවරප්පෙරුම හිටපු අමාත්‍යවරයා මියගියා. ඒ ආරංචිය ඔබ දැනගත්තේ කොහොමද?

එදා නැතිවුණු දවසේ හවස 5.15ට වගේ එයාගේ අයියගේ පුතා ඇවිත් මට කිව්වා මහත්තයා කරන්ට් එක වැදිලා නාගොඩ හොස්පිට්ල් එකට අරන් ගියා කියලා. එදා එයා මතුගම ඉඩමට ගිහින් හිටියේ. ඒත් කීයටවත්ම හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. කොහොම හරි හොස්පිට්ල් එකට යද්දි මහත්තයා නැතිවෙලා.

 

*සමහර වෙලාවට සමීපතම කෙනෙකුට අනතුරක් වෙන්න යද්දී අනෙක් අයට විවිධ විදිවලින් ඒක දැනෙනවා. එදා දවසෙ මේ අනතුරට කලින් ඔබට එහෙම මොකුත් දැනුණේ නැද්ද?

එදා උදේ එයා ඔය මතුගම ඉඩමට යන්න වාහනේ ස්ටාර්ට් කරද්දි ස්ටාර්ට් වුණේ නෑ. ගොඩාක් දවස්වලට ඒක එහෙමයි. ඒ වුණත් කොහොම හරි හදාගෙනම තමයි යන්නේ. හැබැයි එදා එයා වාහනේ ගෙදර දාලා ත්‍රීවිල් එකක තමයි ඉඩමට ගියේ. ඒ වැඩේ එයා කවදාවත්ම කරලා නෑ.

 

*වෙනත් දේශපාලඥයින් මියගියාම සතුටුවුණු මිනිස්සු හිටපු අමාත්‍යවරයා මියගිය පුවත ඇහුවම නොසෑහෙන්න දුක්වුණා. ඒක ගැන මොකද හිතෙන්නේ?

ඔව් මළගෙදරට ආපු ගොඩාක් මිනිස්සු කිව්වා දේශපාලඥයෙක් වෙනුවෙන් අපි මෙහෙම දුක්වෙන පළවෙනි සහ අන්තිම අවස්ථාව මේක කියලා. ඒක ඇහුවම මට මහත්තයා මෙච්චර කාලයක් ජීවත්වුණු විදිය ගැන ලොකු ගෞරවයක් ඇතිවුණා.

 

*බිරිඳ කියන බැඳීම ටිකකට අමතක කළොත් පාලිත තෙවරප්පෙරුම කියන දේශපාලඥයා ඔබ දැක්කේ කොහොමද?

මං ඔහු දැක්කේ ඔහුගේ උපරිම බලය යොදවලා මිනිස්සුන්ට සේවය කරපු කෙනෙක් විදියට. කවුරු වුණත් ඇවිත් එයාට දෙයක් කිව්වොත් අනිවාර්යයෙන්ම එයා ඒක ගැන බැලුවා. කිසිම දවසක මහත්තයා මුණගැහෙන්න ආපු කෙනෙක් රස්තියාදු කළේ නෑ. හදිසි වැඩක හිටියොත් ෆෝන් නොම්මර, ඇඩ්‍රස් එහෙම ලියාගෙන ඊට පහුවදාට හරි ඒ මිනිස්සුන්ව හොයාගෙන ගිහින් එයාලා ගැන බැලුවා. 

 

*අපි කැමතියි දැනගන්න ඔබට ඔහු මුණගැහුනු හැටි?

අපි එකම පවුලේ. ඒ හින්දා අපේ පවුල් දෙක අතර හිතවත්කමක් තිබුණා. අපි එයාලගේ ගෙදර එහෙමත් ඉඳලා හිටලා යනවා. එයාලත් එහෙමයි. ඔය අතරේ තමයි එයා මගෙන් කැමැත්ත ඇහුවේ.

 

*ඉතින් එකපාරටම ඒ යෝජනාවට කැමති වුණාද?

(සිනාසෙමින්) අපොයි නෑ. ටික කාලයක් ඇඹරි ඇ‍ඹරි ඉඳලා තමයි කැමති වුණේ.

 

*එතකොට ඔය දෙන්නා විවාහවුණේ කොයි කාලෙද?

අපි විවාහවුණේ 1989 අවුරුද්දේ. දැන් අපි විවාහවෙලා අවුරුදු 35ක්.

 

*ඔහුත් එක්ක ගෙවපු ඒ අවුරුදු 35 දැනුණේ කොහොමද?

එයා ටිකක් සැරපරුෂ කෙනෙක්. චුට්ටක් ඇත්නම් තරහා යනවා. ඒත් ‍සැමියෙක් විදිහට පියෙක් විදියට එයා අපිත් එක්ක හොඳට ජීවත්වුණා.

 

*ඔබේ වැඩිමල් දරුවා මීට අවුරුදු කීපයකට කලින් මියගියා. ඒත් එක්ක ඔහු ලොකු වේදනාවකින් හිටියා කියන කතාව ඇත්තද?

(සංවේදීවෙමින්) අනේ ඔව්. එයාට ලොකු පුතාගේ අහිමිවීම හොඳටම දැනුණා. ඒත් එක්ක ලොකු වේදනාවකින් හිටියේ.

 

*පාලිත තෙවරප්පෙරුම මිනිස්සුන්ට මේ තරම් ආදරේ මොකද?

ඒ එයාගේ හැටි. සමහරු එහෙම ආදරේ පෙන්නන්නේ ඡන්දයක් බලාගෙන වුණාට ඔහු එහෙම නෑ. ඔහු ඡන්දයෙන් පැරදිලා ගෙදර ඉන්න කාලෙත් මිනිස්සුන්ට උදව් කළා. ඒකට තැන අදාළම නෑ. කොයිතරම් වැදගත් ගමනක් යද්දි වුණත් කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් යන ගමන පස්සට දාලා ඒක කරනවා.

 

*ඒක හින්දා වෙන්න ඇති මිනිස්සුත් ඔහුට මේ තරම් ආදරේ කළේ නේද?

ඔව්. කවදාවත් කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් නොකර ඉඳලා නෑ. අපේ පොඩි පුතා ඒ දවස්වල ඉස්කෝල වැඩ කරපු මේසෙයි පුටුවත් නැතිබැරි දුප්පත් දරුවෙක්‍ට ගිහින් දුන්නනේ. අනික එයාට කෙනෙක් බඩගින්නේ ඉන්නවා බලන්න බෑ. කන්න තියෙන දෙයක් හරි එහෙම අය දැක්කොත් දෙනවා.

 

*ඔහුගේ පවුල් පසුබිම එහෙම කොයි වගේ එකක්ද?

මහත්තයා සාමාන්‍ය පවුලක. තාත්තා ලංගම බස් ඩ්‍රයිවර් කෙනෙක් විදියට රැකියාව කරලයි මෙයාලව උස්මහත් කරලා තියෙන්නේ.

 

*දඩබ්බර වැඩ කරලා ගෙදර ආවම ඔබ මුකුත් කියලා එහෙම නැද්ද?

අපි එයා කරන කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ නෑ. මොකද අපි විරුද්ධ වුණා කියලා එයා ඒවා නොකර ඉන්නේ නෑ. ඒ වගේ වැඩ කළාම ගෙදර එන්නේ එයා එහෙම දෙයක් නොකළා නම් ඊටපස්සේ වෙන දේවල් කියාගෙනමයි.

 

*ජීවත්ව ඉන්න කාලේ සොහොනක් හදාගන්නකොට ඔහුගෙන් ඒකට හේතු ඇහුවේ නැද්ද?

එයා ඒක හැදුවේ ගිය අවුරුද්දේ අන්තිම වගේ. මං හදද්දි ඒ ගැන ඇහුවා. ඒ අහපු හැමපාරම කිව්වේ හදිස්සියේ හරි මළොත් ඒකට ගිහින් දාන්න කියලා.

 

*ඔහුගේ අවසන් කැමැත්ත වුණේ මොකක්ද?

එයා හදපු සොහොනේ එයාව වළදාන්න කියන එක තමයි. එයාට උවමනා වුණේ අවසන් ගමනත් කාටවත්ම බරක් නොවී යන්න.

 

*ජීවත්ව ඉන්න කාලේ ඔහුගේ ගැන අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද?

දවසක් මමයි මහත්තයයි යාළුවෙක්ගේ පුතෙකුගේ බර්ත්ඩේ පාටියකට ගියා. අපි ගියේ හයිවේ එකේ. යද්දි අතරමඟ වෑන් එකක් හැප්පිලා. මෙයා ඉක්මනට කැබ් එක නවත්තලා ගිහින් බලද්දි වෑන් එක අස්සේ කීපදෙනෙක්ම හිටියා. මෙයා එයාලව උස්සන් ඇවිත් කැබ් එකට දැම්මා. මමත් බයට බැස්සා. එදා මහත්තයට මං අමතක වුණා. තුවාලකාරයෝ දාගෙන එයා හොස්පිට්ල් යන්න වාහනේ ස්ටාර්ට් කරද්දි තමයි මාව මතක්වුණේ. ඒ වෙද්දි වාහනේ මට යන්න ඉඩ නෑ. පස්සේ එයා බැහැලා මං උස්සලා ඩිකියට දාලා හයිවේ එකේම හොස්පිට්ල් එකකට ගියා. එදා ඒ ගියපු යෑමට මගේ අත පයක් නොකැඩී බේරුනේ අනූ නවයෙන්. ඩිකියෙන් බහිද්දි මං එහෙට මෙහෙට රෝල් වෙලාම මගේ අතේ තිබුණු වළලුත් අටපට්ටම් වෙලා.

 

*ගෙදර ඉන්න වෙලාවට එහෙම ඔහු දවස ගෙව්වේ කොහොමද?

ගෙදර ඉන්න වෙලාවක් නෑ. ඒත් ඉන්න වෙලාවට ටීවී බල බල පුටුවකට වෙලා නිදාගන්නවා.

 

*දේශපාලනය කරද්දි ඔහු ඔබෙන් දරුවන්ගෙන් එහෙම උපදෙස් ගත්තද?

අම්මෝ පවුලේ කාගෙන්වත් උපදෙස් ගත්තේ නෑ. කවුරුත් උපදෙස් දෙන්න ගියෙත් නෑ. එයාගේ තිබුණේ එයා ගත්ත තනි තීරණ තමයි.

 

*දැන් පාලිත තෙවරප්පෙරුම හිටපු අමාත්‍යවරයා මියගිහින් දවස් කීපයක් වෙනවා. ඔහු ඔහුගේ නිසල නිවහනේ තනිවෙද්දි ඔහු නැති අඩුව ඔබලාට දැනෙන්නේ කොහොමද?

(සංවේදී වෙමින්) මහත්තයාගේ කටහඬ ඇහෙන්නේ නැතිව මුළු ගෙදරම පාලුවට ගිහින්. ඇත්තමයි මහා තනිකමක් අපිට දැනෙනවා. අනේ ඒ හිතුවක්කාරයා අපිත් එක්ක තව කාලයක් හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි.

රුවන් එස්.සෙනවිරත්න