News

Update : ජනපති ගත් තීරණයට එරෙහි පෙත්සම් විභාග කිරීම දෙවැනි දිනට අවසන්

පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට එරෙහි පෙත්සම් විභාගය දෙවැනි දිනය සදහා අවසන් අතර වැඩිදුර විභාගය කිරීම හෙට (06) දක්වා කල් යයි.

—————————————————————————————————————————————–

ජනපති ගත් තීරණයට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ – නීතිපති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

අගවිනිසුරු ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම අද දෙවන දිනටත් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා මේ බව කියා සිටියා.

—————————————————————————————————————————————-

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අද දෙවැනි දිනටත් ආරම්භ වෙයි

ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙවන දිනටත් විභාගයට ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

—————————————————————————————————————————————-

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අද දෙවැනි දිනටත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 සම්බන්ධ විභාගය අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද දෙවැනි දිනටත් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කන ඊෂ්වරන් සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවයි.

පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර හතරහමාරක් ගෙවුණු පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය ඉන් එක් අවස්ථාවක් බව එම ද නීතිවෙදීන් පෙන්වා දුන්නා.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙන බවද එම නිතිඥවරු පෙන්වා දුන්නා.

එහෙත් මෙම නඩුවට පාදක වී තිබෙන විසුරුවාහැරීම මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව පෙන්වා දෙන එම නීතිඥවරුන් එම විසුරුවාහැරිම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව කියා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජේ. සී. වැලිඅමුණ මහතා කරුණු දක්වමින් ප්‍රශ්නගත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව පෙන්වා දුන්නා.

මෙම විසුරුවාහැරීම සාධාරණීකරණය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුනද එහි අන්තර්ගත කරුණු පිළිගත නොහැකි බව ජනාධිපති නීතිඥ වැලිඅමුණ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

ඊට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, නීතිඥ ලාල් විජේනායක ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුකම ව්‍යවස්ථාව 19 වන සංශෝධනයට මුළුමනින්ම පටහැනි බවයි.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වලට අතරමැදි පාර්ශවකරුවන් ලෙස මැදිහත් වීමට අවසර ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීතිඥවරුන් වන මන්ත්‍රීවරුන් 10 දෙනෙක් අධිකරණයෙන් අවසර ඉල්ලා ඊයේ අතරමැදි පෙත්සම් ගොනු කළා.

ඊට අනුර ප්‍රියදර්ශන යාපා, පවිත්‍රා වන්නිආරච්චි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ප්‍රියානි විජේවික්‍රම, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජධීර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ඩිලාන් පෙරේරා, අනුරුද්ධ ජයරත්න සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන් අයත් වනවා.