Latest News

දැරිය ගිනි තබාගෙන ඇත්තේ බදියුදීන්ගේ නිවසේ කෘමීන් නැසීමට ගෙනා භූමිතෙල්වලින්ලු

බෞද්ධාලෝක මාවතේ පිහිටි හිටපු ඇමැති රිෂාඩ් බදියුදින්ගේ නිවසේදී ගිනි ගැනීමකට ලක්ව මියගිය බව කියන බාල වයස්කාර දැරිය පදිංචිව සිටි හැටන් ඩයගම ප්‍රදේශයේදී ඇය අපයෝජනයට ලක් කළා යැයි සැකකරන පුද්ගලයන් සොයා කොළඹින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් ඊයේ (20 වැනිදා) පිටත්ව ගොස් ඇත.

මෙය සියදිවි නසා ගැනීමක් බවට රජයේ රස පරීක්ෂකවරයකු මූලික විමර්ශනවලදී පවසා තිබිණි.

කෙසේ වෙතත් දැරිය ගිනි තබා ගත්තාද? නැතිනම් ඇයට ගිනි තැබුවාද යන්න එහිදී සොයාගත් ලයිටරය ඔස්සේ විමර්ශන අරඹා ඇත.

වසර එකහාමාරකට පෙර කෘමීන්ට යෙදීමට නිවසට ගෙන ආ බව කියන භූමිතෙල් බෝතලයක් ඇඟට දමාගෙන ලයිටරයෙන් ගිනි අවුළාගත් බවට මූලික විමර්ශනවලදී තහවුරු වී තිබිණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරිය මරණයට පත්වීම සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු බස්නාහිර පළාත භාර ජ්‍යෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හමුවී ඊයේ (20 වැනිදා) ඉල්ලීමක් කර ඇත.