දර කැඩීමට ඩන්සිනන් රක්ෂිතයට ගිය 25 හැවිරිදි තරුණිය අතුරුදන්
නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයට සිය මව සමග දර කැඩීමට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදන්ව තිබෙනවා.
එලෙස අතුරුදන්ව ඇත්තේ ඩන්සිනන් වතුයායේ පහළ කොටසේ පදිංචි ‘කට්පුගදාරණි’ නැමැති තරුණියක් බවයි නුවරඑළිය පොලීසිය සඳහන් කළේ.
මේ වනවිට අතුරුදන් වූ තරුණිය සොයා යුද්ධ හමුදාව, පොලීසිය සහ ඩන්සිනන් වතුයායේ කම්කරුවන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා..
ඊයේ උදෑසන සිය මව සමග රක්ෂිතයට ඇතුළු වී ඇති තරුණිය පහළ රැඳී සිටින ලෙස මවට පවසා දර කැඩීම සඳහා රක්ෂිතයේ ඉහළට ගොස් තිබෙන අතර තමන් පස්වරු 02 පමණ වන තෙක් රැඳී සිටියත් දියණිය නොපැමිණි බැවින් අසල්වාසීන් සමග පැමිණ රක්ෂිතය පුරා දියණිය සෙවූ බව අතුරුදන් වූ තරුණියගේ මව පවසනවා.
අතුරුදන්ව ඇති තරුණිය අපස්මාරය රෝගයෙන් ද පෙළෙනු තැනැත්තියක්.