Latest News

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි 16 හැවිරිදි විශ්මි

ලබන මස 21 වැනිදා සිම්බාබ්වේහිදී ආරම්භවීමට නියමිත කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය පසුගිය මස නම්කරනු ලැබුවා.

මෙහිදී කාන්තා ක්‍රිකට් සංචිතය සඳහා නවක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක්ම ඇතුළත්ව ඇති අතර එහි 16 හැවිරිදි විශ්මි ගුණරත්න ද වෙනවා.

ප්‍රවේගකාරී පිතිකාරියක් වන විශ්මි එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී නායිකා චමරි අතපත්තු සමඟ ආරම්භක පිතිකාරිය ලෙස කටයුතු කිරීමට නියමිතයි.

විශ්මි ගුණරත්න දකුණත් පිතිකාරියක් සහ දකුණතින් මද වේග පන්දු යවන්නියක් ද වනවා.

සීනිගම කාන්තා ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් මේ වසර ආරම්භයේ පැවති LIst A තරගයක දී චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජ කාන්තා කණ්ඩායමට එරෙහිව පන්දු 117ක දී අගනා ලකුණු 112ක් ලබා ගනිමින් ශතකයක් වාර්තා කර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කළා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කාණ්ඩායම නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩිකාව විශ්මි වන අතර ඇය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් වේ.