16 හැවිරිදි තරුණයාගේ රිය ධාවනයෙන් සිදු වූ මාරක රිය අනතුර
අද (04) උදැසන වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් තිදෙනෙකු රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
කොළඹ – මීගමුව ප්රධාන මාර්ගයේ වැලිසර සුසාන භූමිය ආසන්නයේදී පෙරවරු 9ට පමණ මෙම අනතුර සිදුව ඇත.
කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ප්රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ යතුරු පැදි දෙකක, ත්රීරෝද රථයක සහ මෝටර් රථයක ගැටී තිබෙනවා.
වයස අවුරුදු 16ක් වූ තරුණයෙකු විසින් අදාළ අධි සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කර ඇති බව මහබාගේ පොලීසිය සඳහන් කළා.
කෙසේවෙතත් මූලික පරීක්ෂණවලදි අනාවරණ වී ඇත්තේ , වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුරු සිදුව ඇති බවයි.
අනතුරින් යතුරු පැදිකරුවෙකු මියගිය අතර, පසු පැදිකරු බරපතළ තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු රෝහල් ගත කළ බව පොලීසිය සඳහන් කර අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.