Latest News

අද විවෘත වුණ පොලිසියට පත්වූ ස්ථානාධිපතිනිය

අද (11) විවෘතවීමට නියමිතව තිබු ගම්පහ නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් වැඩ බාරගැනීමට නියමිතව තිබුණා.

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය එලෙස වැඩ බාරගැනීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මෙරට පොලිස් ස්ථානයක් සඳහා කාන්තා නිලධාරිනියක් ස්ථානාධිපති ධූරයේ කටයුතු කරන දෙවන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.

කාංචනා සමරකෝන් මහත්මියගේ උපන් ගම හෙම්මාතගම ප්‍රදේශය වන අතර ඇය කෑගලු බාලිකා මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා තිබෙනවා.

1997 වසරේදී කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ ඇය හලාවත, වව්නියාව, ගම්පහ, මීරිගම, නිට්ටඹුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කොට්ඨාස ගණනාවක සේවය කර ඇත.

දරුවන් දෙදෙනෙකුගේ මවක් වන කාංචනා සමරකෝන් මහත්මියගේ ස්වාමි පුරුෂයා ද ශ්‍රී ලංකා පොලීසියේ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරයි.