Latest News

සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරඟයේ ජය ලංකාවට – චමරිගෙන් ශතකයක්

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (23) සිය පළමු තරඟය සඳහා තරඟ බිමට පිවිසුණා.

ඒ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

හරාරේහිදී පැවති තරඟයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.

ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට පිටියට පිවිසියේ හසිනි පෙරේරා සමඟින් නායිකා චමරි අතපත්තුයි.

සාර්ථක ආරම්භයක් ලබා ගත් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ සබඳතාව ලකුණු 93ක්.

එහි වැඩි ලකුණු සංඛ්‍යාවකට හිමිකම් කියූ චමරි අතපත්තු නෙදර්ලන්ත කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින් වේගවත් ඉනිමක් දියත් කරනු ලැබුවා.

පන්දු 64 කින් ශතකය වාර්තා කළ චමරි දැවී යන විට ලකුණු 111ක් රැස් කර තිබණේ පන්දු 70කට පමණක් මුහුණ දෙමිනුයි.

එම ඉනිම හතරේ පහර 11ක් සහ හයේ පහර 5කින් සමන්විත වුණා.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අනුෂ්කා සංජීවනී තවත් ලකුණු 32කින් දායකත්වය ලබා දීමට සමත් විය.

ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හොඳ අභියෝගයක් එල්ල කරමින් නියමිත පන්දුවාර 50 අවසාන වන විට කඩුළු 9ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 278ක් දක්වා සිය ලකුණු පුවරුව ඉහළ නැංවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි නෙදර්ලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු සබඳතාව ඉක්මනින්ම අවසන් කරමින් පළමු කඩුල්ල තෙවන පන්දුවාරයේදීම දවා ගැනීමට උදේශිකා ප්‍රබෝදනී සමත් විය.

කෙසේවෙතත් Babette de Leede සමඟින් එක් වූ Sterre Kalis නෙදර්ලන්ත ලකුණු පුවරුව 155 දක්වා රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා.

එම සබඳතාව බිඳ දමමින් Leede දවා ගන්නට චමරි අතපත්තු සමත් වුණ අතර අනතුරුව නෙදර්ලන්ත පිතිකාරිනියන් හට නැවතත් ලකුණු අතරට පැමිණිමේ ඉඩකඩ අහුරමින් තවත් කඩුළු 4ක් ඉක්මනින් දවා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කළා.

නෙදර්ලන්ත ඉනිමේ 44වන පන්දුවාරයේදී තරඟය නැවත්වීමට සිදු වුණු අතර තරඟයේ තීරණය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව තීරණය කෙරුණා.

ඒ අනුව තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හිමි වුණා.