Latest News

පා පැදියෙන් දරු ප්‍රසූතියට ගිය මන්ත්‍රීවරිය

නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජුලී ඈන් ජෙන්ටර්, දරු ප්‍රසූතිය සඳහා පා පැදියෙන් රෝහල් ගත වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‘මම දරු ප්‍රසූතියට පා පැදියෙන් රෝහලට යන්න සැලැසුම් කර තිබුණේ නැහැ. ඒත් රෝහලට යෑමට සිදුවුණු වෙලාවේ මට ලොකු අමාරුවක් තිබුණේ නැහැ. ඒ නිසයි පා පැදියෙන්ම රෝහලට ගියේ’ යැයි දරු ප්‍රසූතියෙන් පසු ජුලී ඈන් ජෙන්ටර් ඇගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ පවසා තිබෙනවා.

ජුලී ඈන් රෝහලට ගොස් ඇත්තේ ඇගේ සැමියාගේ ද සහාය ඇතිවය.

දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ ඇය රෝහල්ගත වී පැයක් ගතවූ පසුව යැයි මාධ්‍ය වාර්තා පැහැදිලි කර ඇත.

පරිසරයට ආදරය කරමු, පා පැදියෙන් රැකියාවට යමු යන සංකල්ප නවසීලන්ත වැසියන් අතරේ ජනප්‍රිය කරලීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන පරිසර ක්‍රියාකාරිනියක ලෙස ද ජුලී ඈන් ජෙන්ටර් ප්‍රසිද්ධියට පත් වී සිටී.

ඇමරිකාවේ උපත ලැබූ ඇය පාර්ලිමේන්තු හා රාජකාරී සඳහා නිරන්තරයෙන් පා පැදිය භාවිතයට ගන්නා තැනැත්තියක්.