Latest News

ප්‍රියන්තගේ දේහය අද දිවයිනට

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද (06) පෙරවරු 10ට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ලාහෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් එම දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු 235 දෙනෙකු මේ වනවිට සියල්කොට් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර 900 දෙනෙකුට එරෙහිව මූලික පරීක්ෂණ වාර්තා ගොනු කර ඇති බව පාකිස්තානු මාධ්‍ය වාර්තා කළා.

දැඩි ආන්දෝලනයට තුඩු දී ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවට පකිස්තාන අග්‍රාමාත්‍යරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා.

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ ක්‍රීඩා ඇඟලුම් කර්මාන්තශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතාව එරට ආගමික අන්තවාදී මතධාරීන් පිරිසක් මිලේච්ඡ අයුරින් ඝාතනය කර සිරුර පුළුස්සා දැමීමට කටයුතු කර තිබුණා.

ඉස්ලාමයේ නබි මුහම්මද් තුමාගේ නම සහිත පෝස්ටර් අපකීර්තියට පත් කළ බවට කර්මාන්තශාලා සේවකයින් කළ චෝදනාවක් මුල්කරගෙන ඔහුව මෙලෙස අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව මෙම සිදුවීම සම්බන්ධයෙන් පාකිස්ථානු මාධ්‍ය වාර්තා කර තිබු‍ණා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා විසින් නිකුත් කළ ටිව්ටර් පණිවුඩයක දැක්වුණේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතාබහ කළ බවයි.

ප්‍රියන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට සිය ජාතියේ කෝපය සහ ලැජ්ජාව ප්‍රකාශ කිරීමට එහිදී කටයුතු කළ බවද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා තැබූ සටහනේ දැක්වුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන ආග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක්ද පවත්වා ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මෙම ඝාතනයට සම්බන්ධ සියලුම අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන බවටත්,පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත සහතික වී තිබෙනවා.

එමෙන්ම දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසිවිටෙකත් පළුදුවීමට ඉඩ නොතබන බවද පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

සිදුවීමට අදාළ සියලු වීඩියෝ දර්ශන සහ තොරතුරු මේ වනවිට පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් ලබාගෙන ඇති අතර දැනට අත්අඩංගුවට ගත් පිරිසට අමතරව සෙසු පුද්ගලයින්ද සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව පකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නොමැති අතර නීතියෙන්ද කිසිදු සමාවක් හිමි නොවන බවත් සාධාරණය ඉටුකර වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවත් මෙම දුරකථන සංවාදයේදී පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සඳහන් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළා.