Latest News

බඹර ප්‍රහාරයක් හේතුවෙන් නොර්වුඩ් පාසලක් තාවකාලිකව වසා දමයි

හැටන්, නොර්වුඩ් හෙල්බොඩ දමිල මහා විද්‍යාලයේ පාසල් ළමුන් පිරිසකට අද (15) උදැසන එල්ල වු බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් 14 දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය සඳහන් කළා.

මෙහිදී පාසල අසල පිහිටි විශාල ගසක බැද තිබෙන බඹර කුඩුවක බඹරුන් ඇවිස්සි පාසලට පැමිණෙමින් සිටි ළමුන්ට බඹරුන් ඇන තිබෙනවා.

එම පාසලේ 6 සිට 11 දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හට මෙලෙස බඹරු ඇනීමෙන් තුවාල ලබා ඇති අතර පසුව ඔවුන් රෝහල වෙත යොමු කර තිබෙනවා.

රෝහල්ගත කල ළමුන්ගෙන් පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුන් සිව්දෙනෙකු දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර , බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු සෙසු සිසු සිසුවියන් දික්ඔය මුලික රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

මේ අතර හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස් පරිදි අදාළ පාසල අද (15) තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව එම විදුහලේ විදුහල්පතිවරයා සඳහන් කළා.

නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.