Latest News

තොටිල්ලට ගෙල සිරවී මිය ගිය සිව් හැවිරිදි දැරිය

සෙල්ලම් කිරීමට සකස්කර තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් වයස අවුරුදු හතරක දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව , පූන්තෝට්ටම් , අන්නානගර් හි පදිංචි පරමේශ්වරන් අරුල්සිකා නැමති දැරියයි.

අදාළ දැරිය විසින් පුටුවකට නැග තොටිල්ලේ එල්ලීමට උත්සහ කිරීමේදී පය ලිස්සාගොස් දැරියගේ ගෙල තොටිල්ලේ සිරවී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථවේ දැරියගේ පියා රැකියාව සඳහා නිවසින් පිටවගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ මව සිය බාල දියණිය ඇදේ නිදිකරවා මුළුතැන්ගෙයි ආහාර පිසමින් සිට ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

සෙල්ලම් කරමින් සිටි දරුවාගෙන් කිසිදු ශබ්දයක් නොඇසීම හේතුවෙන් මව තොටිල්ල තිබූ ස්ථානය පරීක්ෂා කිරීමේදී දැරිය එහි සිරවී සිටින අයුරු දැක ඇති අතර පසුව ප්‍රදේශවාසියකු සමඟ දැරිය වවුනියාව මහ රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා.

කෙසේවෙතත් අසාධ්‍ය තත්වයෙන්වූ දැරිය රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මියගිය දැරියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (19) වවුනියාව මහ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබුණා.