Latest News

ත්‍රීවිල් හා බස් ගාස්තුත් ඉහළට – පාන් වල පාලන මිලත් ඉවතට

ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 45ක් දක්වාත් වැඩිකිරීමට තීරණය කර බව එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේන මහතා සඳහන් කළා.

මේ අතර, ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහළ දැමිය යුතු බවට පෞද්ගලික බස් සමාගම් යෝජනා කර තිබෙනවා.

සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ එසේ නැතහොත් ඉන්ධන සහනාධාරයක් ලබාදීමට රජය පියවර ගත යුතු බවයි.

මෙම ගැටලුව සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී විසදුමක් ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

එමෙන්ම ලබන වසරේ ජනවාරි මස සිට පාසල් බස්රථ ගාස්තුව ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කර සිටියා.

මේ අතර අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා වූ පාලන මිලෙන් ඉවත් වන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

ඉන්ධන මිල වැඩිවීම මත මෙලෙස පාලන මිලෙන් ඔවුන් ඉවත්ව තිබෙනවා.