14 හැවිරිදි බාලවයස්කාර දැරියක් මුදලට විකිණු ඥාති සොයුරිය අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් මුදලට ගණිකා සේවයේ යෙදවූ බව කියන ඥාති සොයුරියක් සහ දැරිය මිලට ගත් යැයි කියන පුද්ගලයෙකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට අදාළ බාලවයස්කාර දැරිය රෝහල් ගත කර ඇතැයි පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට පත් ඥාති කාන්තාව විසින් අදාළ දැරියගේ දෙමාපියන් මුලාකර දැරිය රැගෙන ගොස් විවිධ පුද්ගලයන් හට මුදලට අලෙවි කරන බවට ලැබූ රහසිගත තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයකට අනතුරුව සැකකාරිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධව සිදුකල විමර්ශන වලදී හෙළිව ඇත්තේ ,ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි සැකකාරිය මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටින දැරියගේ නිවසට පැමිණ ඇයගේ තනි නොතනියට දැරිය රැගෙන යන බව පවසමින් මෙම ජාවාරම සිදු කර ඇති බවයි.
ඒ අනුව සැකකාර තැනැත්තිය විසින් මෙලෙස දැරියව දින දෙක තුනක් ඇයගේ නිවසේ තබා ගන්නා බව දැරියගේ දෙමව්පියන්ට පවසා දැරිය රැගෙන ගොස් විවිධ ව්‍යාපාරිකයන් හට රුපියල් 50,000 බැගින් වූ මුදලට අලෙවි කර තිබෙනවා.
සැකකාර කාන්තාව විසින් අදාළ දැරියව 12 හැවිරිදි වියේ සිට වසර දෙකක කාලයක් ගණිකා සේවයේ යොදවා ඇති අතර දැරිය විකිණීමෙන් ලැබෙන මුදලින් එම කාන්තාව සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇතැයි පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකාරිය 32 හැවිරිදි තැනැත්තියක් වන අතර සැකකරු මරදාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සැකකරු හා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මරදාන පොලිසිය විසින් සිදුකරනවා.