Latest News

අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් 9 හැවිරිදි දරුවෙකු මරුට

මැදිරිගිරිය – කුසුම්පොකුණ ප්‍රදේශයේදී 9 හැවිරිදි දරුවෙකු අනාරක්ෂිත ළිඳකට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඒච්.කේ සමන්ත කවිඳු සඳරුවන් කුමාර නමැති කුසුම්පොකුණ ප්‍රාථමික විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක්.

මීට දින දෙකකට පෙර මියගිය දරුවා සෙල්ලම් කරමින් සිටිය දී පන්දුව ළිඳට වැටී ඇති අතර, තාත්තාට එය රැගෙන දෙන ලෙස දරුවා අවස්ථා කිහිපයක දී ඇවටිලි කර ඇත.

කෙසේ නමුත් තාත්තා ට පන්දුව ගොඩ ට ගෙන දීමට නොහැකි වී තිබෙනවා.

ඊයේ (27) සවස 1ට පමණ මව හා බාල සහෝදරයා නිවසින් බැහැරව ගිය අවස්ථාවේ දී මියගිය දරුවා ළිඳට බැස පන්දුව රැගෙන ඇති අතර, එම අවස්ථාවේ දී ළිඳට වැටී දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත.

දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වු කවිඳු නිවසේ නොසිටීම හේතුවෙන් මව්පියන් සෝදිසි කර ඇති වු සැකය මත ළිඳ ඉස ඇති අතර, එම අවස්ථාවේ දී සිරුර ළිඳේ තිබී සොයාගෙන තිබෙනවා.

අනතුරින් මියගිය කවිඳුගේ මව,

“ගෙදර හිටියේ නෑ පොඩි බබා එක්ක උඩහට ගියා පොඩ්ඩක්. බබා ට මම කිව්වා නාලා කරලා ගෙදර ඉන්න කියලා. ඇවිල්ලා බලනකොට තමා බබා හිටියේ නෑ. මම හැමතැනම බැලුවා. ළිඳ ළඟටත් ගිහින් බැලුවා. ඒත් හොයා ගන්න නැහැ. රෑ වෙලා බලද්දි ළිඳ ළඟ බෝලයක් තිබුණා. කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා. ඒ කරලා ළිඳ ඉහලා බලද්දි තමා බබා ළිඳ ඇතුළේ හිටියේ. ”

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මැදිරිගිරිය පොලිසිය සිදුකරයි.