Latest News

දරුවන්ට අමානුෂික ලෙස පහර දුන් පියා අත්අඩංගුවට

තම දරුවන් දෙදෙනා ගසක බැඳ සිරුරුවල මිරිස් තවරා අමානුෂික ලෙස වදදුන් පියා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා.

තම වයස අවුරුදු 6ක පුතා සහ අවුරුදු 7ක දියණියට අමානුෂික ලෙස වද හිංසා පැමිණ වු සැකකාර එම පුද්ගලයාව හැටන් පොලිසිය මඟින් ඊයේ (02) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

වද හිංසාවට ලක්වූ ළමුන් දෙදෙනාව වෛද්‍ය පරික්ෂණයක් සඳහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

හැටන්, කුඩාගම, සමගි මාවතේ පදිංචි සැකකරු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු ලෙස සේවය කරන අතර, සැකකරු මත්පැන් බීමට ඇබ්බැහි වූ අයෙකු බවත් බිමත්ව නිවසට ගොස් බිරිඳ ට පහරදී දරුවන් සිව්දෙනාටද මෙවැනි ආකාරයට අමානුෂිකලෙස වද හිංසා කරන බව වාර්තා විය.

වද හිංසාවට ලක් වු දරුවන් දෙදෙනාව සැකකාර පියා විසින් ඊයේ (02) නිවස අසල පිහිටි වෙළෙඳසැළකට යවා ඇති අවස්ථාවේ පියා විසින් ලබාගෙන ඒමට පැවසූ දේට අමතරව දරුවන් දෙදෙනා විසින් නිවසට දර මිටියක්ද රැගෙන ඒම සම්බන්ධයෙන් උරණ වු පියා දරුවන් දෙදෙනාට මෙසේ අමානුෂික ලෙස වද හිංසා පමුණුවා ඇත.

දරුවන් දෙදෙනාව ප්‍රදේශවාසින් විසින් මුදාගෙන ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් ඊයේ (02) රාත්‍රියේ දරුවන් දෙදෙනා පදිංචි නිවසට ගොස් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මිට ප්‍රථම අවස්ථා කිහිපයකදිම මෙවැනි ආකාරයට බිරිදට පහරදිම සහ දරුවන්ට අමානුෂික ලෙස වද හිංසා කිරීම සම්බන්ධයෙන් හැටන් පොලීසිය මැදිහත්වී ඔහුට අවවාද කර තිබුණා.

තම සැමියාගේ වද හිංසා දරාගත නොහැකි බිරිඳ විසින් සැමියාගෙන් වෙන්විමට දික්කසාද නඩුවක්ද ගොනුකිරිමට මේ වනවිට පියවර ගෙන ඇත.

එම පවුලේ දරුවන් අවුරුදු 4, 6, 7 සහ 8 වයස්වල පසු වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු (03) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දරුවන් සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබෙන උපදෙස් පරිදි ඉදිරි පියවර ගැනිමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළා.