Latest News

විදේශිකයින්ට පමණක් වෙන්වන සංචාරක හෝටල් වලට විශේෂ නිවේදනයක්

දේශීය සංචාරකයින් හට සේවාවන් ලබා නොදෙන සංචාරක නිකේතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව විදේශිකයින්ට පමණයි (foreigners only) යනුවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කරමින් දේශීය සංචාරකයින් හට සංචාරක නිකේතන ලබා නොදෙන පුද්ගලයින් හට නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කරන්නේ, සෑම පුද්ගලයකුටම සමාන අයිතිවාසිකම් ඇති බවට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බවයි.

යම් කිසි පුද්ගලයෙක් ජාතිය, වර්ණය, ආගම හෝ එවැනි වූ වෙනත් කාරණයක් මුල්කරගෙන අසමාන වූ සැලකීමකට ලක් විය නොහැකි බව ඔවුන් අවධාරණය කරන අතර එබැවින් විදේශිකයන්ට පමණයි යනුවෙන් කාණ්ඩ කිරීමකට ලක්කර සංචාරකයින් සඳහා සේවාවන් සැපයීමෙන් වළකින ලෙස ඔවුන් සෑම සංචාරක නිකේතනයකින්ම ඉල්ලා සිටිනවා.

කෝවිඩ් -19 හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට බරපතළ බලපෑම් එල්ල වී තිබූ කාල සීමාව තුළ දී සංංචාරක හෝටල් සහ එම කර්මාන්තය යම් තරමකින් හෝ ආරක්ෂා වූයේ දේශීය සංචාරකයින් විසින්.

ඒ අනුව පසුගිය සාමය සිහි ගන්වමින් සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය නිසා දේශීය සංචාරකයින්ට ,කර්මාන්තයේ නියැලෙන්නන් විසින් ප්‍රති උපකාර කළ යුතු කාලය එළඹ ඇති බවයි.

එමෙන්ම දේශීය සංචාරකයින් වෙත ද පණිවිඩයක් නිකුත් කරන සංචාරක සංවර්ධන අධිකාරිය මෙම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ සංචාරක නිකේතන තුළ ක්‍රියාත්මක වන නීති රීති සහ එහි ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට දේශීය සංචාරකයින් ද වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.