ශ්‍රී ලංකාවෙන් හමුවූ රයිනෝසිරස් පොසිල
මීට වසර 26කට පෙර හමුවූ රයිනෝසිරස් පොසිල කොටස් හමුවූ මඩොල්සිම හා රිලා උළු කඳු පාමුල පිහිටි ලුණුගල මළඅමුණ වෙල්යායේ තවදුරටත් කැණීම් සිදුකළ යුතු බව සත්ත්ව විශේෂඥයෝ පවසනවා.
මොහොමඩ් කාසිම් නැමැති පතල් හිමිකරුවෙකු හට අඩි 62ක් ගැඹුරු මැණික් පතලකින් 1996 වසරේදී එම පොසිල කොටස් හමුවී තිබුණා.
“මේ කටුව හම්බ වුණේ අතන. මම ගන්නකොට කටු ගොඩක් තිබ්බා. ගන්න බැරි වුණා. හාස්කමක් වගේ එකක් තියෙනවා. ඒ හරියට යනකොටම මොකක් හරි වැස්සක් හරි ඇවිල්ලා එක්කෝ කඩාගෙන වැටෙනවා. යටවෙනවා. ගන්නම බෑ. මම කොච්චරත් ට්‍රයි කරා. ඒක වෙන ක්‍රමයකින් ගන්න ඕනේ කියලා රජයෙන් අරහෙන් මෙහෙන් බැලුවා.”
මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සත්ව විශේෂඥ කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා සඳහන් කළේ, එම රයිනෝසිරස් පොසිල කොටස් මීට වසර 80,000කට පමණ පෙර ජීවත් වූ රයිනෝසිරස් මවකගේ සහ පැටවකගේ බවට හඳුනාගත් බවයි.
“රයිනෝසිරස් හිස්කබල් දෙකක් තමයි පොළොව යට තිබිලා තියෙන්නේ. මේක කොච්චර පරණ ද කියලා පරීක්ෂා කළා විශේෂ යන්ත්‍රයක් මාර්ගයෙන්. මේක අදින් වසර 80,000ක් පරණයි. ඒකෙන් හැඟෙනවා ලංකාවේ රයිනෝසිරස් ජීවත්වෙලා තිබුණු බව. මට හිතෙනවා එතන වැටිලා හිටියේ රයිනෝසිරස් අම්මෙකුයි පැටියෙකුයි කියලා. මොකද එක හිස්කබලක දත් ළපටියි. අනිත් හිස්කබලේ දත් මෝරලා. අඩි 62කින් තාමත් මිහිදන් වෙලා තියෙනවා. මේ ලංකාවේ ජීව විද්‍යාත්මක ඉතිහාසයේ ඉතාම සුවිශේෂ සාධකයි. මේ අඩි 62කම අපිට හාරන්න සිද්ධවෙනවා හිස් කබල් දෙකේ ඉතුරු ටික අපිට හොයා ගන්න නම්. සත්තු දෙන්නාගෙම පොසිල තියෙනවානම් සම්පූර්ණ ශරීරවල ඒක ඇත්තටම වැදගත් වෙනවා.”