Latest News

23 හැවිරිදි තරුණියට පිහි ඇනුම් 7ක් – තරුණයා අත්අඩංගුවට ගැනීම පොලිසිය පමා කරයි

තම දියණියට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකළ තරුණයා අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් පමාකරමින් සිටින බව පොලිස් නිලධාරියෙකු චෝදනා කරනවා.

ලබුදුව ප්‍රදේශයේ පිහිටි උසස් තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යාවකට පසුගිය (21) වනදා තරුණයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.

ශිෂ්‍යාවගේ පියා චෝදනා කරන්නේ, එම පුද්ගලයා සම්බන්ධයෙන් මීට පෙර පොලීසියට පැමිණිලි කළද අවශ්‍ය පියවර නොගත් බවයි.

ගාල්ලේ පිහිටි උසස් තාක්ෂණ ආයතනයක විදුලි ඉංජිනේරු අංශයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි අවුරුදු 23 හැවිරිදි එම ශිෂ්‍යාවට ලබුදුව වෛද්‍යපිඨ නිල නිවාස ගේට්ටුව අසල දි පුද්ගලයකු පිහියෙන් ඇන තිබුණා.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම සිසුවිය මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුරින් තුවාල ලැබූ සිසුවිය මොනරාගල, තණමල්විල ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

එම සිසුවියගේ පියා පවසන්නේ, පිහි ඇනුම සිදුකළ පුද්ගලයා මීට පෙර හත් වතාවක් සිය දියණියට මරණීය තර්ජනය කර ඇති බවත් ඒ පිළිබඳව අවස්ථා කිහිපයකදී තණමල්විල පොලීසියට පැමිණිලි කළ බවයි.

නමුත් තණමල්විල පොලිසිය ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදුනොකළ බවට ඔහු චෝදනා කරනවා.

සිසුවියගේ පියා ද පොලිස් නිලධාරියෙක්.

ප්‍රහාරය සිදුකළ පුද්ගලයා තුවාල සිදුකළ පිහියද සමග ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍යවලට මුදාහැර ඇති බවද සිසුවියගේ පියා සඳහන් කරනු ලබනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගේ පියා සඳහන් කළේ,

“මරණ බවට තර්ජනය කිරීම සහ උසස් තාක්ෂණ ආයතනයට යන්න දෙන්නේ නැහැ ගියොත් එතනදි මරණවා කිම සම්බන්ධයෙන් මම පොලීසියට පැමිණිලි දාලා තියෙනවා දුව සහ බිරිඳ විසින් ගිහිල්ලා. එම පැමිණිලි සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් තණමල්විල පොලීසිය විසින් අරගෙන නැහැ. කැම්පස් එකට එන්න එපා මරණවා කියපු එක සම්බන්ධයෙන් පොලීසිය කිව්වේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි ඒක බලාගන්නම් කියලා. ජනවාරි 21 වනදා මගේ දුව විභාගය ලියලා කැම්පස් එකෙන් එළියට එනවිට පිහියකින් ඇනලා බරපතළ තුවාල සිදුකළා. ඒ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගන්න ඕනේ තණමල්විල පොලීසිය විසින් මීට අදාළව හඬපට සහ කෙටි පණිවිඩ සියල්ල අපි ළඟ තියෙනවා. මම වගේ පොලිස් නිලධාරීයෙකුට පොලිස් දෙපාර්තමේන්තුවෙන් සාධාරණයක් ඉටුවෙන්නේ නැතිනම් රටේ සියලුම අහිංසක පුරවැසියන්ට සාධාරණයක් ඉටුවෙයිද කියන ප්‍රශ්නය මට තියෙනවා මගේ දුව මරණවා කියන එක සහ මගේ පවුලේ අය මරණවා කියන එක දාපු සියලු පැමිණිලිවල පිටපත් මගේ ළඟ තියෙනවා. මේ එකක්වත් විභා නොකළ ඒවා මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා යම් ක්‍රියාමාර්ගයක් ගනී කියලා මම හිතනවා.”