Latest News

අද සහ හෙට විදුලිය කැපෙන වේලාවන් මෙන්න

පවතින විදුලි අර්බුදය හමුවේ අද (24) රාත්‍රියේදී මෙන්ම හෙට ‍(25) දිනයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුව ඇති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

අද පස්වරු 05.45 සිට රාත්‍රී 09.30 දක්වා පැයක කාලයක් සහ හෙට දහවල් 01.30 සිට රාත්‍රී 09.30 දක්වා කාණ්ඩ 4 ක් යටතේ පැය 2 ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව එහි කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා ප්‍රකාශ කළා.

“මේ වනවිට සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා දැවි තෙල් නැතිවීම හේතුවෙන්. ඊට අමතරව බාච් විදුලි බලාගාරය සඳහා තව පැය 7කට වගේ ප්‍රමාණවත් වන පරිදි පමණයි දැවිතෙල් තියෙන්නේ. උතුරු ජනනි විදුලි බලාගාරය සඳහා තව දවස් දෙක හමාරකට පමණ දැවිතෙල් තියෙනවා. තව දවස් තුනහමාරකට විතර තමයි කැලණිතිස්ස විදුලිබලාගාරය සඳහා ඩීසල් ප්‍රමාණවත් වෙන්නේ. මේ විදියට බලද්දි අද රාත්‍රියේ විදුලි ඉල්ලුමට මෙගා වොට් 100ක පමණ අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා රාත්‍රි කාලයේ බොහෝ විට පැයක පමණ විදුලි කප්පාදුවක් හවස 5.45 සිට 9.30 වගේ වෙනකල් යන්න බොහෝවිට ඉඩකඩ තියෙනවා. හෙට ඉඳලා දවල් 1.30 සිට රාත්‍රී 9.30 පමණ දක්වා කාණ්ඩ 4ක් යටතේ, පැය 2ක කාලයක් බොහෝවිට කප්පාදුවක් කරන්න සිද්ධවෙනවා දැවිතෙල් නැතිවීම හේතුවෙන්. නමුත් තව දවස් තුනකින් පස්සේ අපිට ඩීසල් නොලැබුණොත් මේ විදුලි කප්පාදුව පැය 3ක් දක්වා වර්ධනය වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා.”

මේ අතර තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත මහතා සඳහන් කළේ, කැලණිතිස්ස බලාගාරයේ මෑතකදී නඩත්තු කර විදුලිබල පද්ධතියට එක් කළ ජනන යන්ත්‍ර දෙකක් කිසියම් පිරිසක් විසින් හිතාමතා අක්‍රීය තත්ත්වයට පත් කර ඇති බවයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා වන ඉල්ලීම මහජන උපයෝගීතා කොමිශන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

ඊට අදාළ අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ.

මේ සඳහා විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වීමට නියමිතයි.