Latest News

ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුමක් අක්‍රීය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය වෙත ලද තොරතුරකට අනුව මෙම ගිණුම අක්‍රීය කිරීමට පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම අධිකාරියේ “විමර්ශන හා අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය” සහ“විශේෂ පොලිස් විමර්ශන ඒකකය”විසින් අදාළ ෆේස්බුක් ගිණුම පවත්වාගෙන යන ලද සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පසුව අදාළ සැකකරුගේ පරිශ්‍රයන්ට ඇතුළු වී සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව එම ස්ථානයේ තිබූ සැකකටයුතු උපකරණද අධිකාරිය භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

මේ අතර ළමයින්ගේ ඡායාරූප යොදාගෙන පවත්වාගෙන යනු ලබන මෙවැනි ෆේස්බුක් ගිණුම් පිළිබඳව තොරතුරු දන්නේ නම් වහාම ඒ පිළිබඳව 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.