Latest News

සාලාවේ දී මෝටාර් උණ්ඩයක් පිපිරීමෙන් සිසුවෙක්ට බරපතළ තුවාල

කොස්ගම, සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා යෑමෙන් පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

2016 වසරේ සාලාව අවි ගබඩාව පුපුරා ගිය අතර එයින් තැන තැන විසිර තිබු මෝටාර් උණ්ඩයක කොටසක් මෙලෙස පුපුරා ගොස් ඇත.

ඊයේ (27) සවස 5.53ට පමණ එම පිපිරීම සිදුව ඇති අතර, උණ්ඩ කොටස පිපිරීමෙන් බරපතළ තුවාල ලැබු පාසල් සිසුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

සිසුවා එම අනතුර සිදුවන අවස්ථාවේ පොතක් කියවමින් සිට ඇත.

පිපිරීම සිදුවු ස්ථානයේ තිබූ මි.මී 130 ප්‍රමාණයේ කාලතුවක්කුවලට යොදන උණ්ඩ කොටසක් මෙලෙස පිපිරෙන්නට ඇතැයි පොලීසිය සැකපළ කරනවා.

කෙසේවෙතත් පසුගිය කාලයේ විටින් විට ප්‍රදේශයෙන් හමුවු මෙවැනි මෝටාර් උණ්ඩ කොටස් ආරක්ෂක අංශ මඟින් රැගෙන ගිය අතර, සමහර පුද්ගලයින් නිවෙස් අලංකාර කිරීම සඳහා ඒවා යොදා ගෙන තිබුණා.

මෙහිදී පොලීසිය සැකපළ කරනු ලබන්නේ,ඊයේ පුපුරා ගොස් ඇත්තේ එවැනි මිදුලේ අලංකාරයට සවිකර තිබු උණ්ඩ කොටසක් බවයි.

පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ පාසලක 10 වන වසරේ ඉගෙනුම ලබන සත්මිර අතපත්තු නැමති පාසල් සිසුවෙක්.

පිපිරීම සිදුවු අවස්ථාවේ දී දරුවා වහාම අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා තිබෙනවා.

පොලීසිය හා යුද හමුදාව එක්ක වැඩිදුර පරීක්ෂණ පවත්වයි.