Latest News

මාධ්‍යවේදිනීය ඝාතනයේ වරදකරුට මරණ දඬුවම ස්ථිර කෙරේ

මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පින්තාරුකරුවෙකුට කොළඹ මහාධිකරණය නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් ස්ථිර කර තිබෙනවා.

අදාළ නඩු තීන්දුව ලබා දුන්නේ ,සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි.

2014 වසරේ පෙබරවාරි මස 02වැනිදා බත්තරමුල්ල, සුභූතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි ඇගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී, කොල්ලකෑම සහ උල් ආයුධයකින් ඇන , ඇය ඝාතනය කිරීම යන චෝදනා මත අරුලානන්ද ඇන්තනී රැම්සන් ජෝර්ජ් නමැති පින්තාරුකරුවකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2017 වසරේ ජූලි මස 5 වනදා කොළඹ මහාධිකරණය විසින් අදාළ විත්තිකරු එම චෝදනාවලට වරදකරු කරමින්, මරණීය දණ්ඩනය නියම කළා.

කෙසේවෙතත් එම දඬුවමින් තමන්ව නිදොස් කොට, නිදහස් කරන ලෙස ඉල්ලා පසුව විත්තිකරු අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා දඬුවම් ප්‍රකාශයට පත් කිරීමේදී නිසි පටිපාටිය අනුගමනය කර ඇතැයි තීන්දු කරමින් විත්තිකරුගේ අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (23) නියෝග කළා.