අධ්‍යාපන කටයුතු සඳහා දුන්න ස්මාර්ට් ෆෝන් එකෙන් ටික් ටොක් සාදයට ගිය දැරියන් දෙදෙනා
වැලිගම ප්‍රදේශයේ පැවැත්වූ ටික් ටොක් සාදයකට යමින් සිටි බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු ඇතුළු තවත් හය දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙනියාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ත් ,17ත් වයස්වල පසුවන බාලවයස්කාර දැරියන් දෙදෙනෙක්.
පොලීසිය මගින් සිදුකළ රථවාහන පරීක්ෂා කිරීමකදී මෙම පිරිස ගමන් ගත් ත්‍රිරෝද රථය පරීක්ෂා කර ඇති අතර එහිදී රථය තුළ සිටි බාලවයස්කාර දැරියන් සම්බන්ධව මතු වූ සැකයක් හේතුවෙන් පොලීසිය සිදුකළ ප්‍රශ්ණ කිරීමකදී ඔවුන් මෙම සාදයට සහභාගී වීමට යමින් සිටින බව අනාවරණය වී තිබෙනවා.
මෙම දැරියන් දෙදෙනා නිවසින් පිටත්ව ඇත්තේ, උපකාරක පන්තියකට සහභාගී වීමට යන බව පවසමිනුයි.
අදාළ දැරියන් දෙදෙනා සිය මිත්තණිය භාරයේ සිටින අතර සිය අධ්‍යාපන කටයුතු සඳහා ඔවුන්ට ලබාදී ඇති ස්මාර්ට් ජංගම දුරකථනය මගින් ඇති කර ගත් සම්බන්ධතාවයක් ඔස්සේ මෙම ටික් ටොක් සාදයට සහභාගී වීමට පැමිණ තිබුණා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සඳහා බාලවයස්කාර දැරියන් දෙදෙනා ඇතුළු සෙසු සැකකරුවන් දෙනියාය පොලීසියට භාරදීමෙන් අනතුරුව අදාළ දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ද යොමුකර තිබෙනවා.
මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ සෙසු සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකර තිබෙනවා.