Latest News

පාස්කු ප්‍රහාරකයන්ගෙ සිරුරු යළි හෙට ගොඩගනියි

අම්පාර – සයින්දමුරුදු ප්‍රදේශයේ දී සිදු වූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු කොටස් හෙට යළි ගොඩගැනීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නමැත්තාගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ ඩී.එන්.ඒ හඳුනා ගැනීම සඳහා අදාළ සිරුරු කොටස් ගොඩගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කලේ.

අම්පාර මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරෙන අතර, හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා, රජයේ රස පරීක්ෂකවරයා සහ විමර්ශන නිලධාරින් එම අවස්ථාවට එක්වීමට නියමිතයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමක් අතරතුර 2019 වසරේ අප්‍රේල් 26 වන දා නිවසක් තුළ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගිය බව ප්‍රකාශ කෙරුණ ද, සිරුරු කොටස් හමුවුණේ පුද්ගලයින් 16 දෙනෙකුගේ පමණයි.

පාස්කු ප්‍රහාර මාලාවේ විමර්ශන වලදී සාරා ජෙස්මින් නැමැත්තිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි වුවත් ඇය මියගොස් ඇති බවට මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.

මරාගෙන මැරෙන බෝම්බය පිපිරීමෙන් මියගිය පිරිස අතර සාරා ජෙන්ස්මීන් සිටියේ ද යන්න නිශ්චිත වශයෙන් හදුනා ගැනීම සදහා මෙම පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.