කුසගින්නේ සිටි සීයාව සොයන්න ගිය මිනිබිරියට සීයාගේ නිසල සිරුර හමුවෙයි
පවතින ආර්ථික පීඩනය දරාගත නොහැකිව ගල්ගමුව – වලස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පියෙකු ගෙල වැලලා ගෙන මිය ගොස් තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, ඩබ්ලිව්.එම් රන්බණ්ඩා නැමැති අයෙක්.
මෙම පුද්ගලයා පසුගිය 29 වැනි දා උදෑසන නිවසින් පිටව ගිය බවත් සවස් වන තුරුම ඔහු නිවසට නොපැමිණි බවත් ඔහුගේ බිරිඳ සිය මිනිබිරියට දන්වා තිබෙනවා.
”අත්තාට උදේට කන්නත් නෑ. දවල්ට කන්නත් නෑ. මම සල්ලි ටිකක් හොයාගෙන පිටි 250ක් ගෙනාවා රොටියක් පුච්චලා දෙන්න. හේනට ගිහිං අත්තට එන්න කියන්න” යැයි ඇය මිනිබිරියට පවසා තිබෙනවා.
ඒ අනුව මිනිබිරිය විසින් හේනට ගොස් සොයා බැලීමේදී මිය ගිය පුද්ගලයාගේ නිසල සිරුර ගසක තිබියදී හමු වී ඇති බව වාර්තා වනවා.
මිය ගිය පුද්ගලයා සිය බිරිඳ සමග කුඩා පැල්පතක ජීවත් වී ඇති අතර, රැකියාව ලෙස හේන් ගොවිතැන හා කුලී වැඩ සිදුකර තිබෙනවා.
අදාළ පුද්ගලයා විසින් පුහුල් වගාවක් සිදු කරගෙන ගොස් තිබී ඇති අතර, තෙල් පොහොර නොමැති වීම හේතුවෙන් එය ද අසාර්ථක වී ඇති බව වාර්තා වනවා.
මොවුන් කලක පටන් ජීවත් වී ඇත්තේ, අතිශය අසීරු තත්ත්වයක වන අතර කෑම බීම සපයා ගැනීම සඳහාවත් ආර්ථිකයක් නොමැතිවීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර අඹු සැමියන් අතර සුළු ආරවුලක්ද ඇතිව තිබෙන බව පොලිසිය සඳහන් කළා.