Latest News

අටළුගම දී අතුරුදන් වූ දැරියගේ සිරුර වගුරු බිමකින් හමුවෙයි

බණ්ඩාරගම – අටළුගමින් අතුරුදන්වූ ෆාතිමා අයීෂා අක්‍රම් නමැති 9 හැවිරිදි දැරියගේ සිරුර අටළුගම මහපල්ලිය ඉදිරිපිට පිහිටි වගුරු බිමක තිබී අද (28) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

පොලිසීය සඳහන් කලේ, දැරිය ඝාතනය කර මෙම ස්ථානයට සිරුර ගෙනවිත් දමා ඇති බවට සැක කෙරෙන බවයි.

ඊයේ (27) පස්වරුවේ මෙම දැරිය අතුරුදන් බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා.

පසුව ඊයේ රාත්‍රියේ දරුවාගේ පියා පොලීසියට කැඳවා පැය 5 කට අධික කාලයක් ප්‍රශ්න කරනු ලැබුවේ ඔහු දෛනිකව මත්ද්‍රව්‍ය භාවිත කරන අයෙකු බවට තහවුරු වීම හේතුවෙන්.

එමෙන්ම එම දැරියගේ මව සහ ඥාතීන් ඇතුළු පුද්ගලයින් 22 කට ආසන්න ප්‍රමාණයකගෙන් පොලීසිය ප්‍රකාශ ලබාගෙන තිබුණා.

සිීසීටීවී දර්ශන ඔස්සේ සැක සහිත වූ වෑන් රථයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ පොලීසිය පිළියන්දල ප්‍රදේශයේ පදිංචි එහි හිමිකරුගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

කෙසේවෙතත් ඔහු එම සිද්ධියට අදාළ කෙනෙකු නොවන අතර අසල වෙළඳසැලකට භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයෙකු බවට තහවුරු වූ බව පොලීසිය සඳහන් කළා.

සිද්ධියට අදාළව ලබාගත් ප්‍රකාශ වලදී පානදුර ප්‍රදේශයේ පදිංචි දැරියගේ පියාගේ ඥාතියෙකුගෙන් ද පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණා.

ඊයේ උදෑසන සිය නිවසට මීටර් 250 ක් පමණ දුරින් පිහිටි කුකුළු මස් වෙළඳසැලකට ගොස් ඇති මෙම දැරිය යළි නිවසට නොපැමිණීම හේතුවෙන් දැරියගේ දෙමව්පියන් පැමිණිල්ල සිදුකර තිබෙනවා.

සීසීටීවී දර්ශන අනුව ඇය වෙළඳසැලෙන් කුකුළු මස් මිලදී ගෙන යළි නිවස දෙසට පැමිණෙන දර්ශන ද පොලීසිය නිරීක්ෂණය කර තිබෙනවා.

කෙසේවෙතත් ඇගේ නිවසේ සිට මීටර් 150 ක් පමණ දුර ප්‍රදේශයේ කිසිදු ස්ථානයක සීසීටීවී කැමරා කිසිවක් සවි කර තිබී නැහැ.

පසුව දැරිය සොයා පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන ආරම්භ කළ අතර ඇය පිටකොටුව ප්‍රදේශයේ රැදී සිටින බවටද තොරතුරක් ලැබී තිබුණත් අටළුගම ප්‍රදේශයේ කැලෑබද ස්ථාන නිරීක්ෂණය කරන ලෙසට ද පොලීසිය ප්‍රදේශවාසීන්ට දැනුම්දී තිබුණා.

ඒ අනුව ප්‍රදේශවාසීන් පිරිසක් වගුරු බිමේ තිබූ දැරියගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

අද පස්වරුවේ හොරණ මහේස්ත්‍රාත්වරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා පැමිණ දැරියගේ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වනු ලැබුවා.