Latest News

අයීෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කීර කොටු කරන පුද්ගලයකු පොලිස් භාරයට

බණ්ඩාරගම – අටළුගම අයීෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කීර කොටුවක් පවත්වාගෙන යන පුද්ගලයකු ප්‍රශ්න කිරීම් සඳහා සැකපිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහුගේ නිවසෙහි ඇඳ යට තිබී මඩ ගෑවුණු සරමක් ද පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

පොලිසිය පැවසුවේ, ඝාතනයට ලක් වූ දැරිවියගේ මෘත ශරීරය කීර කොටුවට යාබදව ඇති වගුරු බිමේ තිබී හමුවූ බවයි.

සැකපිට අත්අඩංගුවට ගත් එම පුද්ගලයා දැරිය අතුරුදන් වූ දිනයේ පෙරවරු 10:15 ට පමණ දැරිය ගමන් ගත් මාර්ගයේ ඔහුගේ කීරකොටුව ඉදිරිපිට මුල්ලුවක් අත දරාගෙන සිට බවට තොරතුරු ලැබී තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙන සැකකරුට මින් පෙර ද මවක් හා දියණියක් සිටින නිවසකට රාත්‍රී කාලයේ දී ඇතුළුවී ලිංගික අතවර කිරීමට තැත් කළ පුද්ගලයකු බවත් ඒ සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට ඉහත දී බණ්ඩාරගම පොලීසියට පැමිණිලි ලැබී ඇති බවට වාර්තා වනවා.

ඝාතනයට ලක්වූ ෆාතිමා අයීෂා අක්‍රම් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) සිදු කිරීමට නියමිතයි.

ඒ, පානදුර මූලික රෝහලේදී යි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ තවත් පොලිස් කණ්ඩායම් 5ක් ඒකාබද්ධව දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන මෙන්ම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව ද අවධානය යොමුකරමින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළා.

පසුගිය (27) වනදා බණ්ඩාරගම – අටළුගම දී ෆාතිමා අයීෂා අක්‍රම් දැරිය අතුරුදන් වී තිබුණේ නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුරදී යි.

ඊට පසුදින පස්වරුවේ දැරියගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයා ගැනුණා.