Latest News

දරුවාගේ අක්මා බද්ධයට ඉන්දියාවට ගිය මව්පියන්ට අත්වූ ඉරණම

දිල්නෙත් දම්හිරු නැමැති කුඩා බිළිඳෙකුට අක්මා බද්ධ කිරීමක් සඳහා ඉන්දියාවට ගිය මවක සහ පියෙකු ඩොලර් අර්බුදය නිසා එම රෝහලට අමතර මුදල් ප්‍රමාණයක් ගෙවා ගැනීමට නොහැකි වීමෙන් නැවත ලංකාවට පැමිණීමට නොහැකිව සිටින බව වාර්තා වනවා.

අදාළ මව්පියන්ගේ හා එම රෝගී දරුවාගේ විදෙස් ගමන් බලපත්‍ර එම පෞද්ගලික රෝහලේ කළමනාකාරීත්වය විසින් ලබාගෙන තිබීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබෙනවා.

මෙම ගැටළුවට මුහුණපා ඇත්තේ,ඉබ්බාගමුව පන්නල මහගම ප්‍රදේශයේ පදිංචි අයි.ජි .ප්‍රියන්ත ලලිත් කුමාර මහතා හා ඒ .ජි . චිත්‍රාංගනී ප්‍රේමසිංහ මහත්මියයි.

ඔවුන් අදාළ සැත්කම සිදුකර ගැනීම සඳහා මීට මාස කීහිපයකට ඉහතදී ඉන්දියාවේ පෞද්ගලික රෝහලකට ගොස් ඇත්තේ මෙරට ජනතාවගෙන් එකතු කරගත් රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක මුදලක් ද රැගෙන බවයි වාර්තා වන්නේ.

අදාළ මව්පියන් සඳහන් කලේ,සැත්කම සඳහා රැගෙන ගිය මුදල ඉන්දියාවේ චෙන්නායි පෞද්ගලික රෝහලට ගෙවීම් සිදු කිරීමේදී මෙරට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් එම මුදල ප්‍රමාණවත් නොවූ බවයි.

ඒ අනුව තවත් ඉන්දියන් රුපියල් හත්ලක්ෂ පනස් දහසක පමණ හිඟයක් පවතින බව රෝහලෙන් මෙම මවට සහ පියාට දැනුම් දී තිබෙනවා.

එම මවගේ අක්මාවේ කොටසක් ද උපයෝගී කරගෙන දරුවාගේ අක්මා බද්ධය සිදුකර ඇති අතර මේ වන විට දරුවා සුව අතට හැරී මවත් දරුවාත් තවමත් ප්‍රතිකාර ලබන තත්ත්වයේ සිටින බවද ඔවුන් සඳහන් කළා.