“මල්ලි මරහඬ දීලා කෑ ගැහුවා මාව මරන්න එපා කියලා”
සැමියා විසින් සිය බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කළ පුවතක් රත්නපුර පොලිස් වසමේ හකමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඉකුත් (10) වනදා රත්නපුර පොලීසියට ලැබුණ දුරකතන ඇමතුමකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන්ට දැකගත හැකිව ඇත්තේ, බිම වැටී තිබූ බිරිඳගේ නිසල සිරුරයි.
ගෙල සිර කිරීමෙන් කම්පනයට පත්ව සිටි 11 හැවිරිදි පුතු සහ සිය දිවි නසා ගැනීමට තැත් කළ සැමියා ඥාතින් විසින් ඒ වන විට රත්නපුර රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දියණිය පැමිණිල්ලේ පවසා ඇත්තේ,
“තාත්තා වැඩ කරන්නේ ෆැක්ට්‍රියක. අම්මා චිත්‍ර ගුරුවරියක්. මගේ වයස 13යි. මල්ලිට 11යි. වටේ ගෙවල්ටවල ඉන්නෙ අපේ බාප්පයි මහප්පයි විතරයි. අපේ අම්ම අපට ඒ එක ගෙදරකටවත් යන්න දෙන්නේ නැහැ, තාත්තට යන්න දෙන්නෙත් නැහැ. මහප්පට ළඟදි ලෙඩ වෙලා අමාරු වුණා. ඒත් අම්ම තාත්තට මහප්පව බලන්න යන්න දුන්නෙ නැහැ. තාත්ත හිටියේ ඒ ගැන හරිම දුකින්.
ඒත් මං දැනුවත්ව අම්මයි තාත්තයි අතරෙ ආරවුල් තිබුණෙ නැහැ. අපේ තාත්තා හරිම හොඳයි. මෙහෙම දෙයක් කළේ ඇයි කියලා මට තේරෙන්නෙ නැහැ.
අද තමයි ශිෂ්‍යත්වය පාස් වෙලා හිටපු මල්ලිව අලුත් ඉස්කෝලෙට එක්කරගෙන යන්න තිබුණෙ. කලින් දවසෙ තාත්තා ටවුමට ගිහින් මල්ලිගෙ අඩුපාඩු, ගෙදරට ඕනැ කරන කෑමබීම එහෙම ගෙනාව. රෑට වෙනදට වඩා හොඳට කෑම හදල තිබුණා. අපට බඩපිරෙන්න තාත්තා කන්න බෙදල දුන්නා.
අපට නින්ද යනකං තාත්ත අපි ළඟ හිටියා. ටික වෙලාවක් අපි දෙන්නාම තුරුලු කරගෙන ඇඬුවා. ආයෙ ආයෙ කිවුවෙ අපි එන ආත්මෙදිවත් සතුටින් හිඳිමු කියලයි. එහෙම කියපු තාත්තා මල්ලිවත් අරගෙන සාලය දිහාට ගියා. බයෙන් හිටපු මමත් ඒ පස්සෙන් ගියා. එතකොට තාත්තා සැර කරල මාව නැවැත්තුවා. ගිහින් ටික වෙලාවකින් මල්ලි මරහඬ තියල කෑගැහුවා, ‘තාත්තෙ මාව මරන්න එපා!‘ කියලා.
මට හොඳටම බය හිතුණා. මම කාමරයට යද්දි අම්මා කාමරයේ බිම වැටිල හිටියා. මට මොකුත් හිතාගන්න බැහැ. කාමරයෙන් එළියට පැනපු මම පස්ස දොරත් ඇරගෙන බාප්පගෙ ගෙදරට දිවුවෙ මර බයේ කෑගහගෙන. බාප්පලත් එක්ක ආපහු එද්දි ආයෙම දොර වහල තිබුණා. තාත්තා කතා කළේ නැහැ. දොර කඩල තමා ගෙට ආවේ.
එතකොට තමයි දැක්කෙ තාත්තත් එල්ලිලා. මල්ලි බිම වැටිල හිටියෙ. බාප්පා තාත්තව එල්ලිල හිටපු ලණුවෙන් ළිහල මල්ලිවත් එක්කම රෝහලට අරගෙන ගියා. අම්මා ඒ වෙද්දිත් නැති වෙලා කියලයි කිවුවේ.” යනුවෙන්.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මියගිය පාසල් ගුරුවරියගේ සිරුර රත්නපුර මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කොට වාර්තාවක් ලබාගන්නා ලෙස පොලිසියට නියෝග කළ අතර, සැකකාර පියා රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුරම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කළා.