කොළඹ මහ නගර සභා භුමියේ වගා කරන්න රෝසි සේනානායක පෙරමුණ ගනියි
කොළඹ මහ නගර සභාවේ පුරපති රෝසි සේනානායක විසින් නගර සභා භූමි ප්‍රදේශයේ එළවළු වගා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මේ වන විට දිවයිනේ උද්ගත වී ඇති දැඩි ආහාර හිගය සඳහා පිළියමක් ලෙස ඇය මෙම තීරණය ගෙන තිබෙනවා.
කෙසේවෙතත් නාගරික මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ,මේ වන විටත් නගර සභා භූමියේ කොටසක් ඩෝසර් යොදා වගාව සඳහා බිම සකසා ඇති බවයි.
කොළඹ පුරපතිනියගේ මෙම අමනෝඥ ක්‍රියාවට විරෝධය දක්වන නාගරික මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ ජාතික උරුමයක් ලෙස නම් කර ඇති නගර සභාව සහ එය අවට භූමියේ මෙවැනි ක්‍රියාකාරකම් සිදු කිරීමට කිසිවෙකුටත් කිසිදු අවසරයක් නොමැති බවයි.
එම නිසා සිය නිල බලය උපයෝගී කරගෙන සිදු කරන මෙම ක්‍රියාවට නාගරික මන්ත්‍රීවරුන්ගේ සහ නගර සභා නිලධාරීන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.
කෙසේවෙතත් එම විරෝධය නොතකා දැනටමත් රෝසි සේනානායක විසින් එළවළු වගා කිරීම සදහා අදාළ භූමි භාගයේ අඩක් පමණ ඩෝසර් කොට ඇති බව වාර්තා වනවා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.