Latest News

ශ්‍රී ලංකාවේ ළමුන්ට මන්දපෝෂණ අවදානමක් – යුනිසෙෆ් සංවිධානය

ශ්‍රී ලංකාවේ ළමයින් මිලියන 1.7 ක් සඳහා මානුෂීය ආධාර සැපයීමට යුනිසෙෆ් සංවිධානය ඩොලර් මිලියන 25 ක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, එම ළමයින්ගෙන් බොහෝ දෙනෙක් මන්දපෝෂණය හා සම්බන්ධ හේතූන් නිසා මියයාමේ අවදානමක් ඇති බවයි.

ශ්‍රී ලංකාව 1948 නිදහස ලබා ගැනීමෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මේ වනවිට මුහුණ දී සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරන පරිදි මිලියන 5.7 කට ආසන්න ළමයින්ගෙන් අඩකට මානුෂීය ආධාර අවශ්‍ය බව සදහන් කර තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් ඔවුන් සඳහන් කලේ,මෙරට සෑම ළමයින් දෙදෙනකුගෙන් එක් අයෙකුට පෝෂණය, සෞඛ්‍ය සේවා, පිරිසිදු පානීය ජලය, අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය සේවා ඇතුළු හදිසි ආධාර අවශ්‍ය බවයි.

දකුණු ආසියාවේ වයස අවුරුදු 5 ට අඩු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් දෙවන ඉහළ අනුපාතයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වනවා.

කෙසේ වෙතත් අවදානමට ලක්ව සිටින දරුවන්ට අවශ්‍ය උපකාර ලබා ගැනීමට යුනිසෙෆ් සංවිධානය කාලය සමග තරඟයක යෙදී සිටින අතර උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 56,000කට ප්‍රතිකාර කිරීම ඔවුන්ගේ ඉලක්කය වී තිබෙනවා.