Latest News

බිරින්දෑවරුන්ට හොඳ කලක් – මත්පැන් ඉල්ලුම 30%කින් අඩුවෙයි

රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

විශේෂයෙන්ම රාජ්‍ය ආදායම වැඩිකරගැනීමට සකස්කොට ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ආයතන කිහිපයක් නියෝජනය කරන නිලධාරීන් සම්බන්ධ කර ගැනීම මෙහිදී සිදු වුණා.

මේ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීන් මෙසේ මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධකර ගැනීම සිදු වුණා.

මෙහිදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ලඟාවීමේදී ගැටලු කිහිපයක් ඇති වී තිබෙන බවත් මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිත වීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මීට හේතු වී ඇති බවයි මෙම නිලධාරීන් සඳහන් කලේ.

එසේම මත් පැන් මිල වැඩිවීම සහ ජනතාවට ආර්ථික අපහසුතා පැවතීම යන කරුණු නිසා මත්පැන් ඉල්ලුම 30%කින් පමණ අඩු වී ඇති බවද ඔවුහු පෙන්වා දී තිබෙනවා.

මේ නිසා නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බවයි අනාවරණය වුයේ.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත අදායම් සහ වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි. විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමේදී කටයුතු කරන ආකාරය සහ බදු පරිපාලනය වැඩි දියුණු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ නිලධාරීන් සමග ඔහු සාකච්ඡා කර තිබෙනවා.

මීට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මෙම වසරේදී ලබාගැනීමට බලාපොරොත්තු වන ආදායම පිළිබඳවද මෙහිදී සවිස්තරව සාකච්ඡා කරනු ලැබුවා.

මෙම කාරක සභාව සඳහා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අනූප පැස්කුවෙල් සහ වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන යන ද සහභාගී වුණා.