ගෝඨාභය රාජපක්ෂ නැවතත් ලංකාවට ?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පුරුවේ සැඟවී නොමැති අතර ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේ දී යි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත ගොනු කර ඇති පැමිණිල්ල පිළිබඳව හා අගෝස්තු මාසයේ දී ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පළවන වාර්තාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කලේ,හිටපු ජනාධිපතිවරයා නිල වීසා බලපත්‍රයක් ලබාගෙන සිංගප්පූරුවට ගොස් ඇති අතර, ඇතැම් වාර්තාවල සඳහන් වන ආකාරයට කිසිදු අයුරකින් රැකවරණය පතා ගිය ගමනක් නොවන බවයි.
කෙසේවෙතත් දේශපාලනික වශයෙන් ගත් කළ, හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගමන් සැලසුම් හෝ ඔහු නැවත පැමිණීමට නියමිත නිශ්චිත දිනයන් පිළිබඳව රජයට දැනුම් දී නොමැති බවද අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.