Latest News

විවාහ පොරොන්දු දී ගුරුවරිය රැවටු දෙදරු පියා සොයා පොලිස් පරීක්ෂණ

ගුරුවරියක් විවාහ කර ගැනීමට පොරොන්දුවී ඇයගෙන් වරින් වර වංචනික ලෙස මුදල් ලබා ගත් දෙදරු පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ ගුරුවරිය බිබිල යල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක්.

ඇය බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික රක්ෂණ සමාගමක කළමනාකාරවරයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් ඇයගෙන් අවස්ථා කිහිපයකදී මෝටර් රථයක් මිලදී ගැනීම ඇතුළු විවිධ අවශ්‍යතාවන් සඳහන් කරමින් රුපියල් විසිතුන්ලක්ෂ තිස්දහස් හයසියයක් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ගුරුවරියගේ අනුදැනුම මත ක්‍රෙඩිට්කාඩ් පත භාවිත කරමින්ද අවස්ථා කිහිපයකදී ඔහු විසින් මුදල් වංචනික ලෙස ලබා ගෙන තිබෙනවා.

කෙසේවෙතත් පෙම්වතා සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී ඔහු විවාහක දෙදරු පියෙකු බව දැනගැනීමෙන් පසු ගුරුවරිය විසින් සිද්ධිය සම්බන්ධව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.