Latest News

පාසල් දැරියක් අත් පා බැද පාළු හේනක දමා ගොස් සිටියදී සොයා ගැනෙයි

පාසල නිමවී යළි නිවසට පැමිණෙමින් සිටි බාලවයස්කාර පාසල් සිසුවියකගේ අත් පා ගැට ගසා හේනක පිහිටි පැලක දමා ගොස් තිබූ පුවතක් රොටවැව, සිප්පුකුලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අත් පා ගැට ගසා දමා ගොස් ඇත්තේ, රොටවැව, සිප්පුකුලම ප්‍රදේශයේ පදිංචි 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය (02) වනදා විමර්ශනයක් ආරම්භ කළ බවත් කල්ලංචිය පොලිසිය සඳහන් කළා.

මෙහිදී පොලිසිය සඳහන් කලේ, අත් පා සහ මුහුණ රෙදි පටි කිහිපයකින් බැඳ දැමූ කුඩා පාසල් දැරියක අත හැර දැමූ පාළු හේනක, පැලක් තුළ සිටින බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලැබුණු තොරතුරකට අනුව මෙම දැරිය සොයා ගැනීමට හැකි වූ බවයි.

ඉන් අනතුරුව අදාළ දැරිය වහාම අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කර ඇති අතර එහිදී පොලිසිය මගින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව දැරිය වෛද්‍ය පරීක්ෂණයකට භාජන කිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කෑදෑව පොලිසිය සිදුකරනවා.