දළදා පෙරහැර නැරඹීමට පැමිණ සිටියදී අතුරුදන් වූ දරුවා සොයා ගැනෙයි
මහනුවර ශ්‍රී දළදා පෙරහැර නැරඹීමට පැමිණ සිටියදී අතුරුදන්ව සිටි 9 හැවිරිදි දරුවෙකු මහරගම ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
එම දරුවා රැගෙන පැමිණි සැකකටයුතු පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකටයුතු පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
දරුවා සහ අදාළ පුද්ගලයා ඊයේ (04) රාත්‍රියේ අවිස්සාවේල්ල දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක සිටියදී මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මයිලාපිටිය, තලවතුඔය ප්‍රදේශයේ පදිංචි එම දරුවා පසුගිය 3 වනදා තම දෙමව්පියන් සමග මහනුවර ශ්‍රී දළදා පෙරහැර බැලීමට පැමිණ ඇති අතර එහිදී මව්පියන්ට නොදන්වා සැකකරු මෙලෙස දරුවා රැගෙන කොළඹට පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කළා.
ඊයේ රාත්‍රියේ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක පුද්ගලයෙකු සමග සිටි දරුවෙකු බියට පත්ව සිටින බව සහ සැකකටයුතු ලෙස හැසිරීම හේතුවෙන් මාධ්‍යවේදියෙකු මහරගම පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා.
එම අවස්ථාවේදී මහරගම පොලිසිය පැමිණ අදාළ දරුවා සහ සැකකටයුතු පුද්ගලයා පොලිස් භාරයට ගනු ලැබුවා.
ඒ අනුව සිදුකළ පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ, අදාළ දරුවා දළදා පෙරහැර බැලීමට පැමිණ සිටියදී අතුරුදන්ව සිටි 9 හැවිරිදි දරුවා බවයි.
දරුවාගේ දෙමව්පියන් විසින් දරුවා අතුරුදන්ව ඇති බවට මහනුවර පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදු කර තිබුණා.
පොලිසිය සඳහන් කලේ, අපරාධකරුවන් විවිධ අරමුණු සඳහා ළමයින් රවටා රැගෙන යා හැකි බවත් එළෙස ළමුන් රවටා රැගෙන යාමට මෙවැනි අවස්ථා උපයෝගි කරගත හැකි බවත් විවිධ සිදුවීම් හරහා නිරීක්ෂණය වී ඇති බවයි.
මෙම හේතුවෙන් මහජනයා වැඩි වශයෙන් රැස්වන උත්සව අවස්ථා හෝ පොදු ස්ථානවල ගැවසීමේදී මව්පියන් තම කුඩා දරුවන් පිළිබඳව දැඩි අවධානයෙන් සහ සැලකිලිමත්ව කටයුතු කරන ලෙස පොලිසිය අවධාරණය කර තිබෙනවා.