Latest News

රෝහලේ සිටි පුතු බලන්න හෙරොයින් රැගෙන ආ මව අත්අඩංගුවට

රෝහල්ගත කර සිටි තම පුතුගේ සුවදුක් බැලීමේ මුවාවෙන් පැමිණ හෙරොයින් ලබා දුන් බව කියන කාන්තාවක් ඉකුත් (23) වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හෝමාගම – ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි මවක්.

අදාළ කාන්තාව විසින් රෝගීන් බැලීම සඳහා වෙන් කර ඇති කාල සීමාව තුළදී හෝමාගම මූලික රෝහලේ 3 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි තම පුතුගේ සුවදුක් බැලීම සඳහා පැමිණ තිබෙනවා.

රෝගියා බැලීමට පැමිණි රෝගියාගේ මව රැගෙන ආ කෑම පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂ්මව සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 580, ගිනිකූරු සහ ඊයම් කොළ කිහියක් මෙසේ සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

ඒ අනුව, හෙරොයින් රැගෙන ආ රෝගියාගේ මව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඇය ඊයේ (24) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

අදාළ රෝගියා ඊට පෙරදින පොලිස් නිලධාරියකුට පහර දී පළා ගොස් මහල් තුනක ගොඩනැගිල්ලකින් බිමට පැන පාදයක් බිඳී යාබද වැසිකිළියක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

එම අවස්ථාවේදී සිදුකළ පරික්ෂා කිරීම්වලදී ඔහු සන්තකයේ තිබී කුඩා පිස්තෝලයක්, උණ්ඩ පහක්, අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් හතයි මිලිග්‍රෑම් 150 තිබී හමුවීමත් සමග අත්අඩංගුවට ගත් සැකකරුට අධිකරණ නියෝග මත පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හෝමාගම පොලිසිය සිදු කරනවා.