කාන්තාවක් විසින් පුද්ගලයෙකුට මන්නා පිහියකින් පහර දී ගිනි තබා ඝාතනය කෙරේ
බිබිල, නාගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට මන්නයකින් කොටා ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකාර කාන්තාව විසින් පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල වෙත ඊයේ (25) පස්වරුවේ පැමිණි අදාළ පුද්ගලයා විසින් එහිදී ආරවුලක් ඇතිවී තිබෙනවා.
එම අවස්ථාවේ සැකකාර කාන්තාව හා අදාළ පුද්ගලයා අතර පොරබැදීමක් සිදුව ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
පසුව එම කාන්තාව විසින් අදාළ පුද්ගලයාට මන්නා පිහියකින් කොටා ඇති අතර ඉන්පසු වෙළෙඳසැලේ තිබූ පෙට්‍රල් බෝතලයක් ගෙන මියගිය පුද්ගලයාගේ සිරුරට දමා ගිනි තබා තිබෙනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බිබිල පොලිසිය සිදුකරනවා.