Latest News

ජපන් මහාචාර්යවරියකගේ නැතිවූ මුදල් පසුම්බිය නැවත ලබා දුන් ගුවන්තොටුපොළ සේවිකාව

මෙරටට පැමිණි ජපන් මහාචාර්යවරියකගේ මුදල් පසුම්බිය කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ බිමවැටී තිබියදී ගුවන්තොටුපොළ පිරිසිදු කිරීමේ සේවිකාවක අහුලා එය අයිති ජපන් මහාචාර්යවරිය වෙත ලබා දී තිබෙනවා.

60 හැවිරිදි මටෘහුරා ජුන්කෝ නැමති ජපාන මහාචාර්යවරිය මෙරට පැමිණ ඇත්තේ, මෙරට දුර්ලභ පුස්කොළ ග්‍රන්ථයක් ජපන් භාෂාවට පරිවර්තනය කිරීමටයි.

ඇය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීම සඳහා ජංගම දුරකතන සිම්පතක් ලබා ගැනීමට ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ තිබෙන ජංගම දුරකතන සමාගමක කාර්යාලය වෙත ගිය අවස්ථාවේ ඇයගේ මුදල් පසුමිබිය බිම වැටී තිබෙනවා.

එහිදී ගුවන්තොටුපොළ පිරිසුදු කිරීමේ කාර්යයේ නියැළී සිටි රඹුක්කන පී.පී. ස්වර්ණලතා මහත්මිය මෙම මුදල් පසුම්බිය දැක එය අහුලා වහා ම ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණා.

මුදල් පසුම්බිය තුළ රුපියල් 119,390ක් තිබී ඇති අතර ඒ තුළ එම මහාචාර්යවරිය සිම්පත ලබාගත් විස්තර ඇතුළත් රිසිට්පතක් තිබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහි තිබූ තොරතුරු ඔස්සේ ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මහාචාර්යවරිය අමතා ගුවන්තොටුපොළට පැමිණ මුදල් පසුම්බිය ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

මහාචාර්යවරිය ගුවන්තොටුපොළට පැමිණ මුදල් පසුම්බිය ලබාගෙන එය අහුලාගත් කාන්තාවට සහ ආරක්ෂක අංශයේ නිලධාරීන්ටත් ත්‍යාග පිරිනමා, ඇගයීමට ලක්කර සිය කෘතවේදීත්වය පළ කර ඇති බව වාර්තා වනවා.